Monday, October 27, 2014

ගාල්ල - ගාලූ ජාතික කෞතුකාගාරය


දක්‍ෂිණ ලංකාවේ ඓතිහාසික උරුමයේ කේන්ද්‍රස්ථානය - ගාලූ ජාතික කෞතුකාගාරය

ක්‍රි.ව.1505 දී ශ‍්‍රී ලංකාවේ දකුණු වෙරළබඩ තීරය පෘතුගිසීන්ගේ බලයට නතු වීමෙන් පසුව ස්ථාපනය වූ විශිෂ්ට ගණයේ උරුම ස්ථානයක් ලෙස ඓතිහාසික ගාලූ කොටුව හඳුන්වා දිය හැකි ය. ජාත්‍යන්තර වෙළඳ කටයුතුවලට වඩාත් ඉවහල් වූ ගාලූ වරාය මුල් කරගෙන කලූ කොටුව හෙවත් BLACK FORT නැමැති කුඩා ප‍්‍රමාණයේ බල කඳවුරක සිය පාලන මධ්‍යස්ථානය පිහිටුවාගෙන සිටි පෘතුගීසින් බලයෙන් පහකර දමා ලන්දේසීන් හෙවත්  ඕලන්ද ජාතිකයින් ගාලූ තුඩුව කේන්ද්‍ර කරගත් දකුණු වෙරළබඩ තීරයේ බලය ක‍්‍රි.ව.1640 දී තහවුරු කර ගන්නා ලදී. ඉන්පසු ලන්දේසීන් විසින් මේ මහා ප‍්‍රාකාරය ඉදිකොට ගාලූ කොටුව නිර්මාණය කරන ලදී. ඒ අනුව ගාලූ කොටුවේ නීති මධ්‍යස්ථාන,ආගමික මධ්‍යස්ථාන,රෝහල්, පාසල්,පාලකවරුන්ගේ නිල නිවාස,ආහාර ගබඩා,යුධ අවි ගබඩා,සිර කඳවුරු ආදී බොහෝ ගොඩනැගිලි ලන්දේසි ගෘහ නිර්මාණ ලක්‍ෂණවලට අනුව ඉදිවුණි. ඉන් වසර 156කට පසු එනම් ක‍්‍රි.ව.1796 දී ඉංග‍්‍රීසි ජාතිකයින් විසින් ලන්දේසීන් සතුව පැවති දකුණු වෙරළ තීරයේ බලය තමන් සතුකර ගැනීමෙන් පසු ගාලූ කොටුවේ තවත් අධිරාජ්‍යවාදි පාලන සමයක ආරම්භය සනිටුහන් විය. මෙලෙස යටත් විජිත පාලන සමයන් 3ක අතීත උරුමය ස්මරණය කිරීම උදෙසා එම කාලයන් නියෝජනය කරන වැදගත් ස්ථානයක් ලෙස ගාල්ල ජාතික කෞතුකාගාරය හැඳින්විය හැකි ය.

කෞතුකාගාරයේ ආරම්භය


ගාල්ල ජාතික කෞතුකාගාර 1986

 

දකුණු පළාතට සුවිශේෂි වූ සංස්කෘතික උරුමයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ගවේෂකයින්ගේ,පර්යේෂකයින්ගේ අධ්‍යාපනික මධ්‍යස්ථානයක් වශයෙනුත් දෙස් විදෙස් නරඹන්න්ගේ විනෝදාස්වාදය උදෙසාත් ප‍්‍රදර්ශනය කරමින් පවත්වා ගෙන යනු ලබන ගාල්ල ජාතික කෞතුකාගාරය, දකුණු පළාතේ වටිනා සංස්කෘතික උරුමයන් සුරැකීම අරමුණු කොටගෙන ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරිය යටතේ 1980 දශකයේ මුල් කාලය තුල ආරම්භ කිරීමට සැලසුම් කරන ලදී. එහෙත් ඒ වන විට කෞතුකාගාරය ඇරඹීම සඳහා තෝරාගෙන සංරක්‍ෂණය කරන ලද ලන්දේසි පැරණි ගොඩනැගිල්ල යුධ හමුදාවේ පාලනය යටතට ගන්නා ලදී. ඉන්පසු දැනට පවතින ගොඩනැගිල්ල කෞතුකාගාරය සඳහා යොදා ගන්නා ලදී. දකුණු පළාතේ සංස්කෘතික උරුමය සුරැකීම සඳහාත්,ප‍්‍රදර්ශනය සඳහාත්,දැනුම අවබෝධය සඳහාත්,කෞතුකාගාරයක දැඩි අවශ්‍යතාවක් තිබු බැවින් ඒ වන විට ජාතික කෞතුකාගාර අධ්‍යක්‍ෂ ධූරය හෙබ වූ ආචාර්ය තෙල්මා ගුණවර්ධන මහත්මියගේ පුරෝගාමීත්වයෙන් සහ එවකට සංස්කෘතික කටයුතු පිළිබඳ විෂයභාර ගරු  අමාත්‍යවරයාව සිටි ඊ. ඇල්. බී. හුරුල්ලේ ඇමතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් 1986 මාර්තු මස 28 දින ගාල්ල ජාතික කෞතුකාගාරය මහජන ප‍්‍රදර්ශනය සඳහා විවෘත කොට ඇත. 


මැදිරි තුනකින් යුත් කෞතුකාගාරය, ගාල්ල දිස්ත‍්‍රික්කයේ හා අවට සංස්කෘතික උරුමයන් බොහෝදුරට ආවරණය වන පරිදි සාම්ප‍්‍රදායික කර්මාන්තවලට අයත් භාණ්ඩ එකතූන් හා ලන්දේසි යුගයේ භාවිතා වූ විවිධ භාණ්ඩ මෙන්ම බි‍්‍රතාන්‍ය පාලන සමයට අයත් විවිධ සංස්කෘතික උරුම එකතුවක්ද ඇතුලත් වන පරිදි දෙපාර්තමේන්තුවේ ප‍්‍රාදේශීය ජාතික කෞතුකාගාරයක් ලෙස ස්ථාපිත කර ඇත.


කෞතුකාගාර ගොඩනැගිල්ල හා ගෘහ නිර්මාණ ලක්‍ෂණ

ක‍්‍රි. ව.1686 දී ලන්දේසී ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිවුණු මෙම ගොඩනැගිල්ල ලන්දේසි පාලකයින්ගේ අවිගබඩාවක් ලෙස භාවිතා වූ බවට ව්‍යවහාරයේ පවතී. මෙය එවකට ගාල්ලේ කමාන්ඩර්වරයාගේ හෝ ඊට සමාන උසස් නිලධාරියකුගේ නිවාසයක් ලෙස භාවිතා වන්නට ඇති බවද ඇතැම් සඳහන් අනුව පැහැදිළි වේ. එසේම ආහාර ගබඩාවක් ලෙස භාවිතා වූ බවටද ව්‍යවහාරික සඳහන් පවතී. ඒ අනුව මෙම කරුණු හා ගොඩනැගිල්ලේ ස්වභාවය සලකා බැලීමේදී මෙය කුමක් හෝ ගබඩාවක් සඳහාම භාවිතා වු ගොඩනැගිල්ලක් බව ස්ථිර වශයෙන්ම සඳහන් කළ හැකි ය. 
ක‍්‍රි.ව.1865 දී දැනට යාබද ගොඩනැගිල්ල වූ නිව් ඔරියන්ටල් හෝටලය (වර්තමාන අමන්ගල්ල හෝටලය) ඉදිකර ඇති අතර ඒ සඳහා කෞතුකාගාර ගොඩනැගිල්ලට සම්බන්ධ කොටසක් කඩා ඉවත් කොට ඇති බවටද සාධක පවති. අවධි කිහිපයක ඉදිකිරීම් ලක්‍ෂණවලින් යුතු ගොඩනැගිල්ලෙහි මුල් ඉදිකිරීම් ලන්දේසීන් විසින් සිදු කර ඇත. ගබඩා ගොඩනැගිල්ලක් වු මෙහි මුල් ඉදිකිරීම් තුල ආලින්දයක් නොතිබුණු අතර ගලින් කළ පඩි 06කින් යුතු පිය ගැට පෙළකින්  ප‍්‍රවේශවීමට ඇති දර්ශනීය ආලින්දය ලන්දේසි පාලන සමයේ පසු කාලීනව හෝ ඉංග‍්‍රීසි පාලන කාලය තුළ ඉදිකරන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. එම පැරණි ආලින්ද කොටස කෙළවරෙහි ගොඩනැගිල්ල හා කුළුණු සම්බන්ධ කෙරෙන පැති බිත්තිය ද මුල් ඉදිකිරීම් සමග හෝ ආලින්දය ඉදිකළ කාලයේ දී හෝ ඉදිවූවක් නොවන අතර එය ඊට පසුකාලීනව ඉදි කළ බවට පැහැදිළි සාධක බවති. ගොඩනැගිල්ලේ වම්පසින් ඇති ආලින්දය 2000 වසරේ ඉදිවූවකි. ආලින්දයෙහි අඩි 10 1/2 ක් උසැති සිලින්ඩරාකාර කුළුණු එකිනෙක සම්බන්ධකරන ලී වැට 2000 වසරේ දී එක් කරන ලද්දක් වුවද ආලින්දයේ ඉදිකිරීම් සමඟ හෝ ඊට පසුකාලීනව මෙයට සමාන හෝ අලංකාර ලී වැටක් තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය. අඩි 2 අඟල් 6ක් පළලින් යුතු ඝන බිත්ති හිරිගල් යොදා මැටියෙන් සවි කොට බැඳ ඇත. උස් දැවමය වහලය,පුළුල් දොර ජනෙල්,ගොඩනැගිල්ලේ ප‍්‍රතාපවත් බවට මනා එක්කිරීමක් ලෙස හැඳින්විය හැකිය. වඩා උස්ව තැනු වහලය සිංහල රවුම් උළු 35000කට ආසන්න ප‍්‍රමාණයක් යොදා සෙවිළි කොට ඇති අතර ගොඩනැඟිල්ලෙහි බිම අඟල් 9*9ප‍්‍රමාණයේ හතරැස් මැටි තහඩු (Teracotta Tiles) අතුරා සකස් කර ඇත. දිගින් අඩි 125ක් පමණ වු ගොඩනැගිල්ල පළලින් ආලින්දයත් සමඟ අඩි 40කි. අඩි 25*37 ප‍්‍රමාණයේ විශාල ශාලා තුනකි. ආලින්දය අඩි 10ක් පළලින් යුතු වෙයි. වීදියට මුහුණලා තැණුනු වහළයෙහි මධ්‍යයෙහි පල දෙකකින් යුතු අලංකාර කුඩා වහළයකි. මෙහි ඉදිරිපසට වීදුරු යොදා ගොඩනැගිල්ලේ අභ්‍යන්තරයට ආලෝකය ලබා දී තිබේ. ලන්දේසි ගෘහ නිර්මාණ කලාවෙහි දක්නට ලැබෙන මෙම විශේෂිත වාස්තුවිද්‍යාත්මක එක්කිරීම (අලෝක කවුළුව) මෙහි ඉතා ආරක්‍ෂිතව පැවතීම කෞතුකාගාර ගොඩනැගිල්ලට සෙසු ගොඩනැගිලි අතරින් ඉතා සුවිශේෂී වැදගත්කමක් ලබා දීමට හේතු වී තිබේ.
සියලූ දොර ජනෙල් ගුළු ඇණ හා යකඩ පට්ටම් යොදා බිත්තියට සවිකොට ඇත. ඉතා දිගු සරනේරුවලින් මෙම විසල් දොර ජනේල සවි කොට තිබේ. අඩි 30ක් දිගැති අ`ගල් 8*10 ප‍්‍රමාණයේ දැව බාල්ක, දෙපස බිත්ති මත වූ හතරැස් ගල් කුට්ටි මත තබා ඒ මත කුඩුම්බි ගසා සවිකළ කුරුපා මගින් දැවැන්ත වහලය උසුලන පරිදි සවිකොට ඇත. ගාලූ කොටුවේ  ඕලන්ද යුගයේ ඉදිකළ ගොඩනැගිලිවල දැවයෙන් කළ විශාල වහලක් සඳහා වර්තමානයේ ආරක්‍ෂිතව ඇති පැහැදිළි නිදසුනක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.
විශාල ප‍්‍රමාණයේ ශාලා තුනක් සහිත ගොඩනැගිල්ලෙහි එක් ශාලාවකට පිටතින් ප‍්‍රවේශ වීමට උපරිම උස අඩි 8ක් වන ආරුක්කු හැඩැති දොරටුවක් හා උස අඩි 8ක් හා පළල අඩි 6ක් වන විශාල ප‍්‍රමාණයේ හතරැස් ජනේල 2ක් ද බැගින් යොදා තිබේ. දොරටුව හා ජනේල පලූ 2 බැගින් යුක්ත වේ.ඒ සඳහා අඟල් 1 1/2 ප‍්‍රමාණයේ ඝණැති ලෑලි යොදා ගෙන තිබේ. ජනේල උළුවස්ස මැදට අඟල් 2*2 ප‍්‍රමාණයේ හතරැස් ලී පොලූ සිරස් අතට යොදා ඇත. එක් ජනේලයක් සඳහා සිරස් පොලූ 12කි. ජනේල පියන් වැසීමට එහි ඇතුලතින් සම්බන්ධ කළ ඉසඞ් හැඩයට සමාන හැඩැති යකඩ අල්ලූවලට උළු අස්සට ඇතුලතින් අඟල් 2*4 ප‍්‍රමාණයේ හරස් ලීයක් යොදා ඇත. එමගින් ජනෙල් පලූ විවෘත කිරීමට නොහැකි පරිදි සිර කොට ඇත. ශාලා 3 එකිනෙකින් වෙන් වන පරිදි මුදුන් බිත්ති 2කින් මුළු මනින්ම ආවරණය කොට ඇත. එකිනෙකට මුහුණලා එම බිත්ති මධ්‍යයෙන් පහළ එක් එක් ශාලාවට පිවිසිය හැකි පරිදි උස අඩි 8 1/2 ක් හා පළල අඩි 6 1/2 ක පමණ ප‍්‍රමාණයේ ප‍්‍රවේශ 2කි. ඒ ඔස්සේ ශාලා තුනටම පිවිසිය හැකිය. මෙම ප‍්‍රවේශවලට හා ජනේල උළුවහුවලට ඉහළින් බිත්තියේ බර උසුලාගත හැකි පරිදි අ`ගල් 1 1/2 ඝනැති ලෑලි යොදා දෙපසින් බිත්තිය ඇතුලට වද්දා තිබීම  ඕලන්ද ගෘහ නිර්මාණ කලාවේ හඳුනාගත හැකි පොදු ලක්‍ෂණයකි. මෙය වර්තමාන ලින්ටල් (Lintal) ක‍්‍රමයේ මූලාරම්භක අවස්ථාවක් විය හැකිය.
ශාලා තුනට පිවිසීමට ඇති ආරුක්කු හැඩැති දොරටුවලට ඉහළින් පිටත බිත්තියේ මධ්‍යයෙහි ANNO1686 ලෙස සටහන් කරන ලද ගල් තුනකි. ගොඩනැගිල්ලේ මුල් ඉදිකිරීම් වර්ෂය වන මෙය, 1656 ලෙස දක්වමින් ඒ අනුව ගාලූ කොටුවේ ඇති පැරණිම ගොඩනැගිල්ල මෙය විය හැකි බව පරණවිතාණයන් සඳහන් කරයි. එහෙත් මෙම වර්ෂය 1686 බව ඉතා පැහැදිළි බැවින් මෙය ගාලූ කොටුවේ ඇති පැරණිම ගොඩනැගිල්ල නොවන බවට තහවුරු කළ හැකි ය. ගාලූ කොටුවේ ඇති බොහෝ ලන්දේසි ගොඩනැගිලි වරින් වර ඉදිකර අළුතින් කොටස් එක් කළ ඒවා බැවින් ඒවාහි විවිධ වර්ෂ සටහන් කොට ඇතත් එකම වර්ෂය සටහන්ව ඇති තනි ගොඩනැගිල්ලකට ඇති එකම නිදසුන ද මෙම ගොඩනැගිල්ල වීම විශේෂත්වයකි. ඒ අනුව ගාලූ කොටුවේ ඇති ලන්දේසි ගෘහ නිර්මාණ කලාව බොහෝ දුරට ආරක්‍ෂිතව පවතින ගොඩනැගිලි අතුරින් ඉතා දර්ශනීය ගොඩනැගිල්ලක් ලෙස ජාතික කෞතුකාගාර ගොඩනැගිල්ල හඳුන්වා දිය හැකි ය.



1 comment: