Tuesday, January 31, 2017

දකුණු දළදා සමිඳු වැන්දෙමු - දෑත නළලේ තබා සාදූ........... බුදු රැස් විහිදෙන සෝමාවතිය....

   දිනය            : 25.01.2016 සහ 26.01.2016

   නිමිත්ත        : කිරි ආහාර පූජාව

   නවාතැන      : වික්‍රමරත්න විශ්‍රාම ශාලාව ( වායුසමීකරණ පහසුකම්ද ඇත)

සිරිලක එක්‌සේසත් කළ දුටුගැමුණු මහරජුන්ගේ පියාණන් වන කාවන්තිස්‌ස නිරිඳුන් විසින් අප සම්බුදුරජුන්ගේ ලලාටධාතුව නිධන් කොට සේරුවිල මංගල මහා සෑය කරවන ලද්දේය. එකල මහවැලි ගං මෝය අසබඩ වූ තැනිතලා ප්‍රදේශය සශ්‍රීක වූ ජනී ජනයාගෙන් පිරීගිය සමෘද්ධිමත් රාජධානියක්‌ විය. ඒ අවදියේ ම කැලණියේ සිව රජුගේ බෑණනුවන් වූ අභය කුමරු සමග කාවන්තිස්‌ස රජුගේ නැගණිය වන සෝමවතී දේවිය විවාහපත් වූවාය. දකුණේ ගැමුණු කුමරුගේ බලය වැඩෙමින් තිබීමත් සමගම ගිරි අබා කුමරු සෝමාවතී දේවිය එවකට සේරු නුවර රජකළ සිව රජු වෙත ගියහ. සිව රජුගෙන් මහවැලි නදිය අසබඩ ඉතා සශ්‍රීක වූ ප්‍රදේශයක්‌ ඔවුනට තෑගි වශයෙන් ලැබිණි. එම ප්‍රදේශය ලැබුණේ සෝමවතී දේවියට බැවින් ගිරිඅබා කුමරු විසින් අලුතින් ගොඩනැගූ නුවරට නම් තබන ලද්දේ සෝම නුවර වශයෙනි.

සෝමවතී දේවිය තෙරුවන් කෙරෙහි මහත් සැදැහැයෙන් යුතු බෞද්ධ මහෝපාසිකාවකි. ඕ තොමෝ සැමට යහපත පිණිස දාගැබක්‌ සහිත විහාරයක්‌ කිරීමට අදිටන් කරගත්තාය. තම ස්‌වාමියා වන ගිරිඅබා කුමරුට ද එය යෝජනා කළාය. මහත් සේ සතුටට පත් වූ කුමරුන් රහතන් වහන්සේලා හැට නමක්‌ වැඩම කොට දන් පැන් පිළිගන්වා දාගැබක්‌ සහිත වූ විහාරය සෑදීමේ අදහස ඉදිරිපත් කළේය. රහතන් වහන්සේලාගේ සම්පූර්ණ ආශිර්වාදය ලැබුqණි
 
එකල ලක්‌දිව සඟ පරපුර නිර්මලව පැවති අවදියකි. අරිට්‌ඨ මහරහතන් වහන්සේගේ සිසු පරපුරෙන් පැමිණි මහාදේව මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වූ මහින්ද නම් එක්‌තරා රහත් තෙරුන් වහන්සේ නමක්‌ ළඟ සර්වඥයන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ සුරැකිව තිබිණි. මෙය දැනගත් ගිරිඅබා රජු සහ සෝමවතී බිසව අලුත් දාගැබෙහි තැන්පත් කිරීම පිණිස ධාතුන් වහන්සේ නමක්‌ ලබාදෙන මෙන් මිහිඳු තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ. මහත් සතුටට පත් මිහිඳු රහතන් ප්‍රධාන ඒ උතුම් සඟරුවන තමන් මෙතෙක්‌ කලක්‌ භක්‌ත්‍යාදරයෙන් සුරැකි ඒ දකුණු දළදා වහන්සේ ගිරිඅබා රජුට දුන්සේක. මහත් ප්‍රීතියට පත් රජතුමාත්, සෝමවතී බිසවත් රහතුන්ට වැඳ නමස්‌කාර කරමින් චෛත්‍ය කර්මාන්තය පටන් ගත්හ. දකුණු දළදා වහන්සේ නිදන් කොට තැන වූ එම චෛත්‍යරාජයාගේ සියලු කටයුතු සෝමවතී දේවියගේ මූලිකත්වයෙන් කළ හෙයින් සෝමවතී චෛත්‍ය යන නාමය ලැබිණි.
 
තත්කාලීන සෙල්ලිපිවලින් මෙම විහාරය හඳුන්වනු ලබා ඇත්තේ "මණිඅගිය" නමිනි. එහි තේරුම අනඟි මැණික යනුයි. මෙය එකල සකල විහාරාංගයන්ගෙන් පරිපූර්ණ වූ සිද්ධස්‌ථානයකි. පොහොය ගෙවල්, විහාර, සක්‌මන් මළු, භාවනා කුටි, පැන් පොකුණු, පුෂ්පාරාම, ඵලාරාමයන්ගෙන් සමලංකෘතව තිබුණි.

ක්‍රි.ව. 10 වන සියවසේ දකුණු දඹදිව උමතු සිව බැතිමත් රජවරුන්ගෙන් එල්ල වූ ආක්‍රමණයෙන් හටගත් බෞද්ධ සිද්ධස්‌ථාන සංහාරය නිසා ක්‍රමක්‍රමයෙන් මෙම ප්‍රදේශ වල් බිහිවී වනාන්තර ගත වෙන්නට විය. කාලයාගේ ඇවෑමෙන් මහවැලි නදියේ ගලාබස්‌නා රටාව ද වෙනස්‌ව ගියේය. එකල මහවැලි නදියට නැගෙනහිරින් වූ සෝමවතිය දැන් පවතින්නේ මහවැලි නදියට මෙපිටිනි. එයට හේතුව නම් නදියෙහි ගලා බස්‌නා ආකාරය වෙනස්‌ වීමයි. අද චෛත්‍ය රාජයා වෙත යන මාර්ගය පවා වැටී ඇත්තේ පැරණි මහවැලි ගඟ ගැලූ ප්‍රදේශ ඔස්‌සේය.
 
කලක්‌ තිස්‌සේ වල්බිහිවී වනාන්තර ගත වී තිබුණු මෙම ප්‍රදේශයෙහි පිහිටි සෝමවතී දාගැබ පිළිබඳව තොරතුරු පැතිර ගියේ මෙහි ඇති හාස්‌කම් නිසාවෙනි. මෙම දාගැබෙන් බුදුරැස්‌ විහිදීමත්, අනේක වූ දිව්‍යභේරි නාදයන්ගේ රාවයන් නිකුත් වීමත් ආදී ප්‍රාතිහාර්යයන් ගැන අසන්නට ලැබී මෙම දාගැබ සොයා පළමුවෙන්ම පියවර තබන ලද්දේ සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමියන් ඇතුළු පිරිස විසින් 1947 දීය. උන්වහන්සේලා අලි, කොටි, වග වලසුන්ගෙන් ගහණ මහ වනයට පිවිස කෙමෙන් කෙමෙන් වන ගැබ තුළට පිවිසෙද්දී වනයේ අතරමං වූහ. කිසිවක්‌ කරගත නොහැකිව ත්‍රාසයට පත්ව සිටි ඒ අවස්‌ථාවෙහි ඈතින් අහසට ආලෝක ධාරාවක්‌ විහිදෙනු දැක එය ඔස්‌සේ මහාසෑය තිබුණු ප්‍රදේශය සොයාගන්නා විට රාත්‍රි 11 පමණ වී තිබිණි. ඔවුහු අපමණ බුද්ධාලම්භන ප්‍රීතියට පත්වූහ. තමන්ගේ නෙත් ඉදිරියේ දිස්‌වන්නේ හුදෙකලා ඝෝර වනයක කුඩා කඳුගැටයක්‌ මෙන් දිස්‌වෙන ගරා වැටුණු සෑයෙන් අහසට විහිදෙන බුදුරැස්‌ මාලාවන්ය. තුනුරුවන් වැඳ, පිරිත් කියා මහා සෑය ප්‍රතිංස්‌කරණයට අදිටන් කරගත් උන්වහන්සේලාට ඒ මහාසෑය ඇතුළින් හේවිසි හඬ ද ශ්‍රවණය කරන්නට ලැබුණි.
 
සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සෝමාවතියේ චෛත්‍ය ප්‍රතිසංස්‌කරණය ආරම්භ විය. ක්‍රම ක්‍රමයෙන් මහාසෑයේ පිළිසකර කටයුතු අවසන් වෙමින් තිබිණි. 1991 ජූලි මස 4 වැනි දින මහාසෑයේ කේතුපළන්දන මහෝත්සවය කළ වේලෙහි එහි පැමිණ සිටි ලක්‍ෂ සංඛ්‍යාත පිරිස මවිතයට පත්කරමින් දුටුදුටුවන්ගේ සිත් සතන් බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳ කරවමින් සෝමවතී මහාසෑයෙන් බුදුරැස්‌ විහිදෙන්නට පටන් ගත්තේය. මෙම දර්ශනය මිනිත්තු 45 ක්‌ පමණ තිබුණි.
 
1983 හටගත් ජූලි කලබල වලින් පසු යළිත් සෝමවතිය හුදෙකලා වන්නට විය. බෞද්ධ ජනතාවගෙන් තොරවූ මෙම ප්‍රදේශයෙහි චෛත්‍ය රාජයාට වන්දනාමාන වතාවත් කිරීම එහි වැඩසිටින භික්‍ෂූන් වහන්සේලා විසින් කරන ලද්දේ ඉතා දුෂ්කරතා මධ්‍යයේය. කොටින්ම යන්නට පාරක්‌ තොටක්‌ නොමැති, අලි, කොටි, වලසුන්ගෙන් ගහණ සෝමාවතිය වෙත ළඟාවීමට බොහෝ දුක්‌ වින්ද යුතු විය. සෝමාවතී මහා සෑය වෙනුවෙන්ම තම ජීවිතයම පූජා කළ සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වීමෙන් පසු එහි භාරකාරත්වයට පත් පහමුණේ ශ්‍රී ගුණානන්ද අනුනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ අප්‍රමාණ ශ්‍රද්ධා භක්‌තියකින් යුක්‌තව මෙම චෛත්‍යරාජයාණන් වහන්සේගේ ආරක්‍ෂාවත් අභිවෘද්ධියත් උදෙසා මුළු ජීවිතයම කැපකළ සේක. උන්වහන්සේ අපවත්වීමෙන් පසු උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වූ පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සෝමාවතී චෛත්‍යරාජයාණන් වහන්සේගේ අභිවෘද්ධියත්, ආරක්‍ෂාවත් උදෙසා මහත් ශ්‍රද්ධාවකින් කැප වී සිටින අයුරු ලක්‌වැසි සියලු භික්‍ෂූන් හට උදාර ආදර්ශයක්‌ සපයයි.
 
වරින් වර කොටි ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රහාරයන්ට මහාසෑය ලක්‌විය. එක්‌වතාවක්‌ මහාසෑය සාරා තිබුණි. තව වතාවක්‌ කොත ගලවා තිබිණි. සිංහල බෞදAධයන්ව ද ඝාතනය කර තිබිණි. මහාසෑය පිහිටි ප්‍රදේශයට යැම භීතියෙන් සිත් කළඹවන තරම් දරුණු දෙයක්‌ බවට ත්‍රස්‌තවාදීන් විසින් පත්කොට තිබුණි. නමුත් ඒ කිසිවකින් බුදුරැස්‌ විහිදෙන මහාසෑයට හානි කළ නොහැකි විය.
 
මුනිඳු ගෞතම අප තිලෝගුරු - බුදුරැසින් ලොව දසත     විහිදූ
සුමුදු බුදුවදනින් සදා සෙත - ලොවට සිරි සැප සතුට       සෑදූ
පුබුදුවන මුනි ගුණය කැටිකොට - උතුම් සෝමාවතිය      සෑදූ
දකුණු දළදා සමිඳු වඳිනෙමු - දෑත නළලේ තබා             සාදූ  
(කිරිබත්ගොඩ ඤාණානන්ද ස්‌වාමීන් වහන්සේ )

Monday, January 9, 2017

දොළොස්‌ මහේ සිරිපා මළුව එකෙළි කරන සිරිපා පහනේ පුරාවෘත්තය



දොළොස්‌ මහේ සිරිපා මළුව එකෙළි කරන සිරිපා පහනේ පුරාවෘත්තය


ශ්‍රී පාද කඳු මුදුනේ පිහිටි දොළොස්‌මහේ පහනේ කතාව 1920 ගණන් දක්‌වා ඈතට දිවෙන්නකි. පානදුරේ වාසය කළ වෛද්‍ය සයිමන් සිල්වා මහතා 1928 දී ශ්‍රී පාද වන්දනාවේ යෙදුණු අතර ඔහුගේ පවුලේ අය ප්‍රකාශ කරන පරිදි ඔහුත් සෙසු අයත් රාත්‍රිය ගත කර තිබුණේ කඳු මුදුනේය. රාත්‍රියේ දැඩි ශීතල උහුලා ගත නොහී වටපිට බලන ඔහුට ගන අඳුර මිස කිසිදු එළියක්‌ දක්‌නට නොවීය.

සවස්‌යාමයේ පත්තු කර තිබුණු පහන් සියල්ල නිවී ගොස්‌ය. සමහරක්‌ තෙල් ඉවරවීමෙන්ද තවත් සමහරක්‌ සුළඟ නිසාද නිවී ගොස්‌ තිබිණ. ආපසු පැමිණීමෙන් පසු ගමනේදී ඇතිවූ සිද්ධි සිහිපත් කරන ඔහුට සිරිපාද කඳුමුදුනේ පැවැති ගනඳුර බියකරු සිහිනයක්‌ ලෙස දැනෙන්නට විය. හදිසියේම ඒ සම්බන්ධයෙන් යමක්‌ කළ යුතුයෑයි ඔහුට සිතිණ. මෙය පවුලේ සෙස්‌සන් අතර විවෘත සාකච්ඡාවක්‌ බවට පත් විය. එහිදී වඩාත්ම වැදගත් යෝජනාව පිළිගැනීමට ලක්‌ විය. ඒ අනුව වෛද්‍ය සිල්වා මහතාගේ මියගිය මාපියන් වන ඒ ජොයානස්‌ සිල්වා මහතා හා ජොහානා පීරිස්‌ ජයවර්ධන මැතිනියට පිං පිණිස ශ්‍රී පාදයට සුළං ආරක්‍ෂණ ආවරණයක්‌ සහිත දොළොස්‌ මහේ පහනක්‌ පූජා කිරීමට තීරණය විය. ඒ අනුව සැලසුම් කළ පහන වාත්තු කරන ලද්දේ ප්‍රදේශයේ සම්ප්‍රදායික පිත්තල කාර්මික ශිල්පියෙකි. ජ්‍යෝතිෂයේ දැක්‌වෙන නවග්‍රහයන් වෙනුවෙන් අනූ පහන් නමයක්‌ එම පහනට ඇතුළත් විය. එය කිලෝ 175 ක්‌ බර විය. එහි ඉහළින් පවත්නා බඳුනේ කොප්පරා හා වෙනත් සුවඳැති ද්‍රව්‍ය අඩංගුකොට දැල්වීමේදී ඊට පහළින් ඇති අනුපහන් වලට තෙල් වැගිරෙන ලෙස පහන සකස්‌ කර තිබිණ. මෙය දොළොස්‌මහක්‌ තිස්‌සේ දැල්වෙන පහනක්‌ ලෙස හැඳින්වුවද එය සැබවින්ම දැල්වී පවත්නා කාල සීමාව 6 මසක්‌ වන්නේ ශ්‍රී පාද සමයට සීමාවන බැවිනි.
මේ කලාත්මක නිර්මාණය 1930 සිරිපා සමයේ දී කඳුමුදුනට රැගෙන ගොස්‌ පිහිටුවන ලද්දේ සමන් දෙවියන්ට කැපකරමිනි. මෙහිදී දැඩි උත්කර්ෂයක්‌ හෝ උත්සවලීලාවක්‌ නොපැවති නමුත් දැඩි බැතියෙන් හා විශ්වාසයෙන් යුතුව එය සමන් දෙවියන්ට පූජා කෙරිණ.

මේ කාලයේදී හෝ ඊට ආසන්න කාලයකදී එංගලන්තයේ ලන්ඩන් නුවරින් සැතපුම් 112 ක්‌ දුරින් පිහිටි අප්ටන් ලේක්‌ ප්‍රදේශයේ පූලේ හි උපත ලද ඉංග්‍රීසි ජාතිකයෙක්‌ වතු යායක්‌ ඇරඹීමේ අටියෙන් ලංකාවට පැමිණියේය. ජී. ඩබ්ලිව්. එලිස්‌ නම් ඔහු වතු යාය ඇරඹීමට තොරාගත්තේ ශ්‍රී පාද කඳු පාමුල බටහිර බෑවුමේ පිහිටි දෙමදා ගම්මානයට අයත් අක්‌කර 300 ක භූමි භාගයකි. මේ ප්‍රදේශය දැරනියගල නගරයේ සිට දළ වශයෙන් කිලෝමීටර 10 ක්‌ දුරින් පිහිටි අතර එරත්න හරහා සිරිපා මුදුනට යන අඩිපාර දළ වශයෙන් සැතපුම් 18 ක්‌ පමණ දුර විය. එලිස්‌ මේ වතුයාය පූලේ නමින් හැඳින්වූ අතර එහි රබර් හා තේ වගා කළේය. පූලේ වතුයායේ කම්කරුවන් බොහොමයක්‌ දෙමදා ගම්වැසියන් වූ අතර ගම්මානය හා අවට ප්‍රදේශය සමන් දෙවියන්ගේ අඩවිය ලෙස සැලකූ හෙයින් ඔවුන් සමන් දෙවියන් පුදදීමට වාර්ෂිකව සිරිපා තරණය කිරීම සිරිතක්‌ විය.
වතුයායේ වැඩ කටයුතු බලාපොරොත්තු සහගතව ඇරඹුණද වැඩිකල් නොයාම පැහැදිලි තේරුමක්‌ හෝ හේතුවක්‌ නොමැතිවම ඇතිවන කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට මුහුණ දීමට එලිස්‌ට සිදු විය. මේ අතර කාලයේදී ඔහු කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ප්‍රභූන් හමුවී ඔවුන් සමඟ මිත්‍රත්වයක්‌ ගොඩනඟා ගෙන තිබිණ. මේ කතාවට අදාළ වෛද්‍ය සිල්වා මහතාද ඔහු එසේ දැනහැඳින ගත් අයකු විය.
මේ අතරවාරයේ ශ්‍රී පාද කඳුමුදුනේ පිහිටි පහන පිරිසිදු කිරීමට හා එය පැහැ ගැන්වීමට වාර්ෂිකව දුෂ්කර ගමනක නියෑළීමට සිදුවන බව වෛද්‍ය සිල්වා මහතාට පෙනී ගියේය. ශ්‍රී පාදස්‌ථානයට ආසන්නයේම පූලේ වතුයායේ සිය මිත්‍ර එලිස්‌ වාසය කරන බව ඔහුට හදිසියේම සිහිපත් විය. කඳු මුදුනට ඇති සමීපතාව මෙන්ම ඔහු සතු හැකියාවද සලකමින් පහනේ වාර්ෂික නඩත්තු කටයුතු බාරගන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටීමට වෛද්‍ය සිල්වා මහතා තීරණය කළේය. මේ වාර්ෂික චාරිත්‍රය ඉටු කිරීම බාරගන්නැයි කළ ඉල්ලීමේදී වෛද්‍ය සිල්වා මහතා විශ්මයට පත්කරමින් එලිස්‌ ඊට එක පයින්ම සතුට පළ කළේය. මෙය එම අවස්‌ථාවේ අහඹු සිද්ධියක්‌ බවට පත්වූයේ එලිස්‌ගේ පූලේ වතුයාය පිහිටි දෙමදා ගම්මානයට අයත් වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා පරිදි සමන් දෙවියන්ට බාරයක්‌ වුණොත් වත්තේ ප්‍රශ්න සමනය වනු ඇතැයි ඔවුන් කියා තිබුණු බැවිනි. එහෙයින්ම මේ මහඟු අවස්‌ථාව වහා ඩැහැගත් එලිස්‌, වාර්ෂික චාරිත්‍රය ඉටුකිරීමට එකඟතාව පළ කළේය. පැවසී ඇති අන්දමට ඔහු ශ්‍රීපාද කඳුමුදුනට නැඟ ඇත්තේ එක්‌වරක්‌ පමණක්‌ වුවද කඳුමුදුනේ ඇති පහනේ නඩත්තු කටයුතු සිදුකිරීමේ පොරොන්දුව ඒ අයුරින්ම ඉටු කළේය. ආශ්චර්යවත් ලෙස ඔහුගේ ප්‍රශ්නවලින්ද සහනයක්‌ ලැබෙන්නට විය. රබර් වලින් සාධාරණ ප්‍රතිලාභයක්‌ අත්පත්කරගන්නටද ඔහුට හැකි විය. තවද දෙවැනි ලෝක යුද්ධය පැන නැඟීමත් සමඟ රබර් මිල ඉහළ නැගිණ. එලිස්‌ට විශාල වාසියක්‌ අත් විය.
අපේ පහනේ කතාව තවමත් අවසන් නැත. පහන රැකබලාගැනීමෙන් වෛද්‍ය සිල්වා මහතාට වූ පොරොන්දුව 1935 සිට 1953 දක්‌වාම ඉටුකිරීමට එලිස්‌ට හැකි විය. ඉන්පසු පළමුවන පාර්ලිමේන්තුව සඳහා පැවැති මැතිවරණයේදී දෙහිඕවිට ආසනය සඳහා ලංකා සමසමාජ පක්‍ෂයේ එඩ්මන්ඩ් සමරක්‌කොඩිට එරෙහිව තරග වැදුනු එක්‌සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක සහ ප්‍රමුඛ නීතිවේදියකු වූ සෝමවීර ගුණසේකරට පූලේ වතුයාය විකුණා දැමිණ. එහෙත් ඒ එක්‌ කොන්දේසියකට යටත්වය. ශ්‍රීපාද පහන් සේවා කටයුත්ත එපරිද්දෙන්ම සිදුකරන කොන්දේසිය මතය. ඒ අනුව ගුණසේකර පවුල් අදාළ සම්ප්‍රදායගත චාරිත්‍රය ඉටුකිරීමේ බාරකරුවන් බවට පත් විය. 1953 සිට පූලේ වතුයායේ කළමනාකාරිත්වයෙන් පහනට නිසි අවධානය යොමුව තිබිණ. පළමුව සෝමවීර ගුණසේකර යටතේ සිදුවන මේ කටයුත්ත ඔහුගේ ඇවෑමෙන් ඔහුගේ බිරිඳ නන්දා ගුණසේකර විසින් බාරගෙන තිබිණ. 1965 දී වතුයායේ කළමනාකාරිත්වය බාරගත් ඔවුන්ගේ පුත් අජිත් ගුණසේකර පෞද්ගලිකවම මෙම චාරිත්‍රය ඉටු කිරීමට ක්‍රියා කළේ වසරක්‌ පාසා තමාම කන්ද නැගීමෙනි.
ඒ අනුව සිරිපා සමය ඇරඹීමට දෙදිනකට කලින් එහි ගොස්‌ පහන ශුද්ධ පවිත්‍රකොට එළඹෙන වන්දනා සමය වෙනුවෙන් එය සූදානම්කර තැබීම සිදුකෙරිණ. අජිත් 37 වසරක්‌ තිස්‌සේ අඛණ්‌ඩව මේ කාර්යය සිදු කළේය.
2003 දී රාජ්‍ය බැංකුවක්‌ විසින් පරණ පහන පසෙකින් අලුත් පහණක්‌ පිහිටුවන ලද්දේ ප්‍රසිද්ධ උත්සවයක්‌ පවත්වමිනි. එහෙත් එම පහන පැවතුනේ එක්‌ වන්දනා සමයක්‌ පමණි. පහනේ ඉරිතැලීම් හා කඩතොලු හටගැන්මෙන් එය ඉවත් කිරීමට සිදු විය. සමහරවිට එය කාලගුණයට ඔරොත්තු නොදුන්නා විය හැකිය. නොඑසේනම් සමන් දෙවියන් මේ පූජනීය කඳුමුදුන වාණිජකරණයට ගොදුරුවනු දැක්‌ම නොරිසි වූවා විය හැකිය.
ඉඩම් ප්‍රතිසංස්‌කරණ නීති හඳුන්වා දීමත් සමඟ පූලේ වතුයාය ක්‍රමයෙන් කුඩා බිම්කොටස්‌වලට කැඩීගිය අතර අජිත් ගුණසේකර 60 වැනි වියට එළඹි 2004 දී පූලේ වතුයාය කෙරේ පැවැති අපේක්‍ෂාවන් සියල්ල අවශ්‍ය නොවන තැනට පත්ව තිබිණ. ඉතිරිව පැවැති එකම උරුමය වූයේ සිරිපා පහන පිළිබඳ වගකීම අඛණ්‌ඩව ඉටු කිරීම පමණි. මේ සද්චාරිත්‍රය අඛණ්‌ඩව ඉටුකිරීමේ හැකියාව පිළිබඳ දෙගිසියාවෙන් පසුවූ අජිත් මේ පූජනීය වගකීම පැවරිය හැකි විශ්වාස කටයුතු හා හැකියාව ඇති පුද්ගලයකු සොයමින් සිටියේය.
එහිදී ඔහුට තාක්‍ෂණ ශිල්පියකු වන අශෝක මිරිහාගල්ල හමු විය. ඒ අනුව සිරිපා පහනේ වාර්ෂික නඩත්තුව 2004 පටන් ඔහු ආරම්භ කළේය. ඒ සඳහා යෙදවුණු කණඩායම සමඟ එක්‌ව මේ දක්‌වා වසරක්‌ පාසා සිරිපා තරණය කරන ඔහු කන්ද නැගීමට හයිහත්තිය තිබෙනතාක්‌ කල් අඛණ්‌ඩව එහි නිමග්න වීමට අපේක්‍ෂා කරයි. තවමත් අපේ කතාව අවසන් නැත.

මීට කලින්ද සඳහන් කර ඇති පරිද්දෙන් 2013 දී රූපවාහිනි හා ගුවන්විදුලි මාධ්‍යයෙන් ලෝකයටම ප්‍රසිද්ධ කරමින් අලුත් පහනක්‌ පිහිටුවනු ලැබුණු අතර අපේ පරණ පහන ඉවත් කෙරිණ.

මහත් උත්කර්ෂයෙන් යුතුව පිහිටුවන ලැබූ නව පහනේ අවිනිශ්චිත තාව කෙටි කලකට සීමා විය. සමහරවිට සමන් දෙවියන් එය ප්‍රතික්‍ෂේප කළා විය හැකිය.
මේ අනුව ශ්‍රීපාදයට පවිත්‍ර ෙච්දනාවෙන් පුද කෙරුණු පැරනි දොළොස්‌මහේ පහන යළිත් වරක්‌ එම ස්‌ථානය අරක්‌ ගත්තේය.