Thursday, July 16, 2015

මුහුදු ජලයෙන් පහන් දල්වන වට්ටාපලෙයි කෝවිල

යාල්පානම් ගොස් මන්නාරම්තොටෙන් කොළොම්තොටට පැමිණියෙමි....

මුහුදු ජලයෙන් පහන් දැල්වෙන බව ඔබට පැවසුවොත් සිනහ පහලවනු ඇත. එවිට ඔබගේ සිහියට නැගෙන්නේ පොල්තෙල් පහනකට ජලය බිදුවක් වැටුනොත් චුරු චුරු හඩනගමින් එය නිවීයන බවනොවේද? 
මුහුදු ජලයෙන් දෙවියන් උදෙසා පහන් දල්වන ආශ්චර්ය දැක බලා ගැනීමට යායුත්තේ හින්දු බැතිමතුන්ගේ මහත් ගෞරවාදරයට පාත්‍රවූ මුලතිව් නන්දිකඩාල් කලපුවේ ස්ථාපිත වට්ටාපලෙයි කන්නගි අම්මන් කෝවිලටය.එම කෝවිලේ වාර්ෂික උත්සවය ශ්‍රී ලංකා යුධ හමුදාවේ පූර්ණ දායකත්වයෙන් පසුගියදා ලක්ෂ පහකට අධික බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් නිමාවට පත්විය.
මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ වට්‌ටාපලෙයි ගම්මානයේ පිහිටි කන්නගි අම්මාන් ඉපැරැණි හින්දු කෝවිල ප්‍රසිද්ධ වී ඇත්තේ වට්‌ටාපලෙයි කෝවිල යන නමිනි. මෙහි පත්තිනි අම්මාගේ එක් පෙනී සිටීමක් ලෙස සලකන කන්නගි අම්මා දේව මාතවට පුද පූජා පැවැත්වීම සිදුකෙරේ.
දින අටක් පුරා පැවැති විශේෂ පුදාපූජා ඇතුළු වාර්ෂික මංගල්‍යය පසුගිය දා අවසන් විය.
දෙවියන් පාමුල මුහුදු වතුරෙන් පහන් දල්වා ඇති අයුරු
දැඩි භක්‌තියකින් හා විශ්වාසයකින් වට්‌ටාපලෙයි කෝවිල වෙනුවෙන් හින්දු බැතිමත්හු වසර පුරාම බාරහාර වෙති. කෝවිලේ වාර්ෂික මංගල්‍යය පැවැත්වෙන දිනයේ දී බාරහාර ඔප්පු කිරීමට පැමිණෙන හින්දු , සිංහල හා විදේශිකයන් ඇතුළු ලක්ෂ පහකට අධික බැතිමතුන්ගෙන් වට්‌ටාපලෙයි කෝවිල් භූමිය එකම මිනිස්‌ හිස්‌ ගොඩක්‌ බවට පත්වී තිබුණි. වට්‌ටාපලෙයි කෝවිල් ඉතිහාසය පුරාවට තමන් දන්නා කාලවකවානුවක විශාලම පිරිසක්‌ එක්‌ වූ අවස්‌ථාව මේ වසර බව කෝවිල් භාරකාර සංගමයේ සභාපති එම්. කුගදාසන් මහතා පැවසීය.
මුලතිව් වට්‌ටාපලෙයි හින්දු කෝවිලේ වාර්ෂික මංගල්‍යයට යාපනය, කිළිනොච්චිය හා මන්නාරම යන ප්‍රදේශවල සිට කැලෑබද මාර්ගවලින් කෝවිල් භූමිය කරා බැතිමත්හු පාගමනින්ම ළඟාවෙති. කැලෑබද මාර්ගවලින් එසේ සැතපුම් ගණනාවක්‌ දුර ගෙවමින් පැමිණීම ද බාරහාර වීමේ සම්ප්‍රදායේ තවත් ලක්‍ෂණයකි.

කිරි කළයක් හිස මත තබා කටටු කටු ගසා 


බාර හාර ඔප්පුකරන කාන්තාවක්
වට්ටාපලෙයි කන්නගි අම්මන් කෝවිල

අතීත පුරාවෘත්ත වල සදහාන් හාස්කම් පාන ලද වෘක්ෂය
වට්‌ටාපලෙයි හින්දු කෝවිලේ වාර්ෂික මංගල්‍යයේ අවසාන දින සවස දෙවියන්ට පුදපූජා පවත්වන අවස්‌ථාවේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා මගින් ගුවනේ සිට කෝවිලට මල් ඉසීම සිදු කෙරිණි. හෙලිකොප්ටර් යානා මගින් වට්‌ටාපලෙයි කෝවිලට මල් ඉසින විට ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන් ස්‌‍ත්‍රෝත්‍ර ගයමින් දෙවියන්ට ඕම්කාරය නැගූහ.
වට්‌ටාපලෙයි කෝවිලේ පැවැත්වෙන චාරිත්‍ර අතර ඉතාම සුවිශේෂී වතාවත වන්නේ මුහුදු ජලයෙන් පහන් දැල්වීමයි. මුහුදෙන් ලබාගන්නා ජලයෙන් පහන් දැල්වෙන ආකාරය අපටද දැකගත හැකි විය. වට්‌ටාපලෙයි කෝවිලේ මහානුභාවය නිසාම එය සිදුවන බවට බැතිමත්හු විශ්වාසය පළ කරති. විශේෂ පුජෝපහාර විධි අනුව මුහුදේ එක්තරා ස්ථානයකින් ලබාගන්නා ජලයෙන් දෙවියන් උදෙසා පහන් දැල්වීම සිදුකරයි.
කෝවිලේ දිනපතා තේවා කටයුතු සිදුකරන්නේ පුරාණයේ සිට එකම පරපුරකිනි. අද එහි පස්වන පරම්පරාවෙන් පැවැත එන පිරිස මේ තේවා කටයුතු සිදුකරයි. 
අතීතයේ එක්තරා දිනයක මේ ප්‍රදේශයේ තරුණයන් පිරිසක් කුඹුරු වැ‍‍ඩෙහි යෙදෙමින් සිට ඇත. අදටත් මේ කෝවිල ආශ්‍රිත ‍ප්‍රදේශයේ සරු සාර කුඹුරු යායවල් දැක ගත හැක. මෙම කුඹුරේ ගොවිතැන් කටයුතු වල නිරතව සිටි තරුණයන් අභියසට මහලු කාන්තාවක් පැමිණ තමාට කුසගිනි බැවින් තමන්ට ආහාර පිණිස යමක් දෙන ලෙස ඉල්ලා සිටිමින් කොහොඹ ලීයකින් කළ නගුලක් මත වාඩි වූවාය. ආහාරයට අවශ්‍ය මොනවාදැයි ඇයගෙන් විමසූ තරුණයන්ට පවසා ඇත්තේ තමන්ට කිරිබත් අවශ්‍ය බවයි. අනතුරුව කිරි දෙනකගෙන් ලබාගත් කිරි උතුරවා එයට සහල් එක්කොට කිරිබත් පිස මෙම කාන්තාවට පිළිගන්වා ඇත. මේ කටයුතු නිමවෙන විට රාත්‍රිය උදා‍වී තිබේ. එබවින් අවශ්‍ය ආලෝකය සපයා ගැනීමට මෙම තරුණයන්ට පහනක් දල්වන ලෙස කාන්තාව පවසා ඇත. නමුත් ඒ සදහා පොල්තෙල් නොමැති බව මෙම තරුණයන් කාන්තාවට පැහැදිලි ‍කර ඇත. එම කාන්තාව පහනක් දැල්වීමට පොල්තෙල් අවශ්‍ය නොමැති බවත් ඉදිරිපිට ඇති මුහුදෙන් මුහුදු වතුර ගෙනවිත් පහනක් දල්වන ලෙස පවසා ඇත. ඒ අනුව ක්‍රියා කළ තරුණයන් පිරිස ඇය කියු පරිදි මුහුදු ජලය ගෙනවිත් පහනක් දල්වා තිබේ. අනතුරුව මෙම තරුණයන් ඇමතූ එම කාන්තාව තමාට එසේ පුද සත්කාර කරන්නේ නම් ඔවුන්ගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට තමා ආශිර්වාද කරන බව පවසා අතුරුදහන්ව ඇත. එම කාන්තාව වාඩිවූ කොහොඹ නගුල එම ස්ථානයේම පැලවී ගසක් බවට වැඩී තිබේ. ඒ පැමිණ ඇත්තේ කන්නගි අම්මා බව විශ්වාස කරන එම පළාතේ ජනතාව එම ස්ථානයේ‍ කෝවිලක් කරවා එදා පටන් අද දක්වාම වසරක් පාසා කිරි උතුරවිමින් කිරිබත්(පොංගල් බත්) උයමින්, මුහුදු වතුරෙන් පහන් පත්තු කරමින් එම සිද්ධිය සමරමින් කන්නගි දේව මාතාවට පූජෝපහාර දක්වයි.
ඕලන්ද ජාතිකයන් මෙරට පාලනය කරද්දී යාපනය කොටුවේ සිට මෙම කෝවිල බැලීමට අශ්වයෙකු පිට නැගී ඕලන්ද ආණ්ඩුකාරවරයෙකු පැමිණ තිබේ. එම පුද්ගලයා මෙම කෝවිලේ එවකට සිටී පුජකවරයා අමතා නුඹලා ගේ ඔය දෙවියන්ගේ ඇති හාස්කම් මොනවාද පුළුවන්නම් ඒවා පෙන්නාපල්ලා යැයි කියමින් සමච්චල් කොට තිබේ. එවිට කෝවිලේ පූජකවරයා යෂ්ඨියක් අතට ගෙන අසල ඇති ළිදෙන් ජලය ස්වල්පයක් එයට ඉස එම යෂ්ඨියෙන් කෝවිල පසෙක ඇති විශාල වෘක්ෂයකට තට්ටුකර තිබේ. මෙම වෘක්ෂය අදටත් මෙම පුජනීය භූමියේ ඇති අතර එම වෘක්ෂය දෙමළ ජනතාව හදුන්වනු ලබන්නේ "පනිච්චම් මරම්," "අනිච්චම් මරම් " යන නම් වලිනි.මෙහි මල් ලා දම් පැහැයක් ගන්නා අතර ඒවා සිඹි පමණින් මැලවෙන බව දෙමළ ජනතාව විශ්වාස කරයි. මෙම ගසට පූජකවරා තට්ටු කිරීමත් සමග ගස වේගයෙන් සෙලවෙන්නට පටන් ගෙන තිබේ. ඒ දෙස බලා සිටි ඕලන්ද ජාතිකයා වෙත මේ ගසේ ගෙඩි ගැලවී විත් වේගයෙන් ශරීරයේ වැදෙන්නට පටන් ගෙන තිබේ. එයින් ගැලවීමට මොහු දිව ගොස් ඇති අතර පසුපස එලවමින් මේ ගසේ ගෙඩි ඔහුට පහර දීමට පටන් ගෙන තිබේ. ඉන් ගැලවීම සදහා නන්දිකඩාල් කලපු‍වට පැන තිබේ. ජලයට පැන්නත් මෙම ගසේ පහරදීම නතර නොවූහෙයින් තමාට සමාවන ලෙස පැවසූ ඕලන්ද ජාතිකයා මේ කෝවිලට රාජ අනුග්‍රහය ලබාදෙන බවත් පුද පුජා පවත් වන බවටත් තමා භාර වන ලෙස පූජකවරායාට පැවසීමෙන් අනතුරුව මෙම ගෙඩිවලින් පහර දීම නැවතී තිබේ. අනතුරුව ඕලන්ද ආණ්ඩුකාර වරයා මෙම කෝවිල සදහා රාජ අනුග්‍රහය ලබා දී තිබේ.
මෙම ගස සෙලවීමට ජලය ඉසින ලද ළිද අදටත් මෙම ස්ථානයේ ඇති අතර එම ළිදේ ජලය උත්සව අවස්ථාවලදී ක්ෂණිකව පොළව මට්ටමින් අඩි එක හමාරක් පමණ ඉහලට ඇති බවත් වට්ටප්පලෙයි කෝවිලට පැමිණෙන බැතිමතුන් පවසති. 
මානුෂීය මෙහෙයුම පැවතීමට පෙර සිට ‍අඛණ්ඩව මෙම කෝවිලේ පූජා කටයුතු අඛන්ඩව සිදු කර ඇති අතර මානූෂීය මෙහෙයුමේ අවසන් අදියර පැවති නන්දිකඩාල් කලපුවේ මෙම කෝවිල පැවතියද දෙපාර්ශවයේ මෝටාර් හා කාලතුවක්කු උන්ඩ දෙපසට හුවමාරු වෙද්දී මැදිව තිබූ මෙම කෝවිලට කිසිදු හානියක් නොවුයේ මෙහි ඇති බල මහිමයට බවද බැතිමත්හු පවසති. 
වට්‌ටාපලෙයි කෝවිලේ වාර්ෂික මංගල්‍යය කාවඩි නැටුමෙන් හා සංගීතයෙන් අලංකාරව තිබු අතර . කුඩා කලයකට කිරිදමා ඊට කොහොඹ අතු යොදා අලංකාර ලෙස සරසන ලද කළය හිස මත තබාගෙන කිරි නොඉහිරෙන පරිද්දෙන් දෙවියන්ට ගෞරව දක්වමින් රංඟනයේ යෙදීම තවත් පිරිසක්‌ සිය සිරුරේ පිටට කොකු ගසා ලණුවල ආධාරයෙන් එල්ලී කොහොඹ අතු හා කුඩා දරුවන් දෑතට ගෙන කෝවිලේ දෙවියන්ට නමස්‌කාර කිරීම ආදිය සුවිශේෂී අංගයන් ලෙස අපට පෙනිණි.
මෙම කෝවිල සදහා බොහෝ බැතිමතුන් පැමිණ සිටියේ දරුඵල ලබා ගැනීමට, වසංගත රෝග වලින් සුවය ලබා ගැනීමට වූ භාරයන් ඔප්පු කිරීම පිණිසය.
උදේ 7.00, දහවල් 12.00 සහා සවස 5.00 ට දිනපතා ‍වට්‌ටාපලෙයි කෝවිලේ පුජාවන් පැවැත්වෙයි.

Wednesday, April 8, 2015

නීලාවරෙයි පොකුණ

පතුල නොපෙනෙන නීලවරයි ලිඳ -  පුත්තුර්

යාල්පානම් ගොස් මන්නාරම්තොටෙන් කොළොම්තොටට පැමිණියෙමි....

සරු යාල්පානම් පොළවේ හොඳ හැටි පල දරා ඇති කෙසෙල්, පැපොල්, මිරිස් සහ මිදි‍ ආදී වගාවන් අතරින් ඊළගට ළගා වූයේ නිලාවර හෙවත් පතුළ නොපෙනෙන ළිඳ වෙතටය. 



නීලාවරෙයි පොකුණ හා නටඹුන් පිහිටලා තියෙන්නේ වලිකාමම් නැඟෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නීලවරෙයි හන්දියේ. මේ පොකුණ ජනතාව අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ පතුළ නැති ළිඳ කියලයි. මෙහි ගැඹුර මනින්න උත්සහ කළත් එය කළ නොහැකි බවයි පුරා විද්‍යාඥයන්ගේ මතය. භූගත ගංඟාවක් හේතුකොටගෙන මතුපිට පස්තට්ටුව කඩා වැටීමෙන් මේ පොකුණ බිහිවන්නට ඇතැයි මතයක් පවතිනවා. 2007 සිට මේ ළිඳ වටේ බැම්මක් බැඳ ඇති අතර ජලාපවහන මණ්ඩලය මඟින් නගරයේ පානීය ජල අවශ්‍යතාවය සඳහා දිනකට ජලය ලීටර් 174000 ප්‍රමාණයක් මේ ළිඳෙන් ලබාගෙන තියෙනවා. 

බොහෝ පුරාවෘත වලට විවෘත වූ මෙම ළිඳ සැබැවින්ම ගුප්ත ස්වභාවයක් ඉසිලීය. මෙම ළිඳෙහි ගැඹුර අද වන තුරු සොයා ගෙන නැති අතර එනිසාම මෙය පතුළක් නැති ළිඳ ලෙසින් හැඳින්වේ. මෙම ළිඳ තුළ විවරයන් දෙකක් පවතින අතර ඒවා ත්‍රිකුණාමලය සහ කීරමලේ දක්වා දි‍වෙන බවටද මතයක් ඇත. කෙසේ වුවත් මෙම ළිඳ තවමත් හරියට තෝරා බේරා නොමැති ප්‍ර‍හේලිකාවක් සේය. එය විසඳන්නට එක්කෝ කෙනෙකු අතිශය නිර්භය විය යුතුය නොඑසේනම් පතුළක් නැතැයි පිළිගන්නා ළිඳකට පැන පතුළ සොයා කිමිදෙන්නට තරම් ජීවිතාශාව අත් හැරි කෙනෙකු විය යුතුය. මේ සම්බන්ධයෙන් ඇති තවත් එක් විශ්වාසයක් වන්නේ මෙය හදි‍සියේ ගැසූ අකුණක් හේතුවෙන් පහළ වූවා යන්නයි. මෙවන් මිත්‍ය විශ්වාසයන්ගේ අතීත කතාන්දර වල ඇති නිර්මාණශීලීත්වය සහ අවස්ථා ගැළපීමම මොනතරම් අගය කළ යුතුද ? 

UPDATE 10/04/2015 

 

Thursday, February 19, 2015

හැමන්හිල් බලකොටුව || FORT HAMMENHIEL

හැමන්හිල් බලකොටුව - කරයිනගර් 

යාල්පානම් ගොස් මන්නාරම්තොටෙන් කොළොම්තොටට පැමිණියෙමි....

මෙම Hammenhiel කොටුව යාපනය මුහුදු තීරයේ  කුඩා ගල් දිවයිනක  පිහිටලයි තියෙන්නේ.  කොරල් කපා 1618 දී ඉදි කරන ලද්දේ පෘතුගීසීන. 1658දී මාස තුනක යුද වැදීමකින් පස්සේ ලන්දේසීන් මේ බලකොටුව අල්ලාගෙන Hammenhiel කියල නම් කරනවා. (Heel of the Ham) කොටුවේ හැඩය අශ්ටාශ්‍රකාරයි.   






මේ කොටුව දැන් නම් නඩත්තු කරගෙන යන්නේ අපේ නාවික හමුදාවෙනුයි. කාමර හතරක සුඛෝපබෝගී හෝටලයක් ලෙසට සකස් කරලයි තියෙන්නේ. 






මේ කොටුවේ කාලයක් දේශපාලන සිරකරුවන් සිරකරගෙන හිටිය කියල කතාවකුත් තියෙනවා. JVP හිටපු නායකයෙකු වෙච්ච විජේවීර මහත්තයත් මෙතන හිරකරලා තිබිල තියෙනවා. 




Restaurent එක තියෙන්නේ ගොඩබිම. එතන ඉඳල බෝට්ටුවකින් කොටුව බලන්න යන්නත් පුළුවනි. පින්තූර ටිකක් තියෙනවා. බලන්නකෝ ඉතින්......

මහෝදර මාමත් චූලෝදර බෑණාත් යුද වැදි නාගදීපය


නාගදීපය

යාල්පානම් ගොස් මන්නාරම්තොටෙන් කොළොම්තොටට පැමිණියෙමි....

බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවට වැඩියේ නාගදීපයට ය. එය සිදුවූයේ බුද්ධත්වයෙන් වසර 5 කට පසුව එළඹුන එක් බක් මස අමාවක පොහොය දිනකදී ය. මේ වනවිට අප මහා ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තුංග සම්බුද්ධත්ව මහා මංගල්‍යය සිදුවී වසර 2600 ක් ගතවී ඇත. එසේ නම් වර්තමානය වනවිට දෙවන ලංකාගමනය සිදුවී වසර 2595 ක් ගතවී තිබේ.


 
සම්බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය පිළිබඳව ත්‍රිපිටකයේ සඳහන් නොවෙතත් ඉතා පැරැණි වංශ කතා වූ දීප වංශය, මහා වංශය සහ සමන්තපාසාදිකාව වැනි ග්‍රන්ථයන්හි ඒ පිළිබඳ විස්තර සටහන් කර තිබේ.
ඒවාට අනුව බුදුන් වහන්සේ වැඩිය බව සඳහන් වන නාගදීපය නිශ්චිත එක් ස්ථානයක් නොවන බවත් එ දවස නාගදීපය යනු උතුරු ප්‍රදේශයට අයත් වන වපසරියක් බවත් වියතුන් බහුතරයකගේ මතය වී තිබේ.
වංශකතාවල සඳහන් වන පරිදි නාගදීපයට බුදුන් වහන්සේ පැමිණියේ නාග ගෝත්‍රිකයන් වූ මහෝදර මාමත් චූලෝදර බෑණාත් යන ඥාති නා රජුන් අතර, මිණි පළඟක් නිසා හටගන්නට ගිය සංග්‍රාමය නවතාලීමේ අරමුණෙනි. යුද්ධයට සැරැසී සිටි තැන අහසෙහි වැඩ සිටි බුදුන් වහන්සේ ධර්මය දේශනා කළහ. සමඟි වූ නාග ගෝත්‍රිකයෝ යුද්ධයට නිමිත්ත වූ මිණි පළඟ බුදුන් වහන්සේ වෙතට පූජා කළහ. බුදුන් වහන්සේ වැඩ සිටි ජේතවනාරාම භූමියේ වූ කිරිපලු රුකට අරක් ගත් සමිද්ධි සුමන නම් වෘක්ෂ දේවතාවා ද මේ සාම සංචාරයට එකතුවී බුදුන් වහන්සේ වඩින විට ජේතවනාරාම පොළොවෙන් උදුරාගත් එම වෘක්ෂය සේසතක් මෙන් ඉහළා ගෙන පැමිණියේ ය.

 
බුදුන් වහන්සේ වෙත පූජා කළ මිණි පළඟ ද කිරිපලු රුක ද උන්වහන්සේ නැවත නා රජවරුන් වෙතටම තිළිණ කරමින් මෙසේ වදාළ සේක. නාග රාජයෙණි! මාගේ පාරිභෝගික චෛත්‍යය වඳිවු. නාගයනි ! එය තොපට වැඩ පිණිස ද සැප පිණිස ද වන්නේය. සංග්‍රාමයට සූදානම් වූ එම භූමියෙහිම කිරිපලු රුක පිහිටුවා මිණි පළඟ ද තබා නා රජවරුන් විසින් සෑයක් කළ බවත් එය කිරිපලු සෑය නොහොත් රාජායතන චෛත්‍යය ලෙසින් ප්‍රකට වූ බව ද කියවෙයි. මේ රාජායතන චෛත්‍යය ස්ථීර වශයෙන්ම පිහිටියා වූ තැන කොතැනදැයි යන ප්‍රශ්නයට නිශ්චිත පිළිතුර තවමත් සොයාගෙන නොමැත.
පලාලී සිට කන්කසන්තුරේ මාර්ගයේ ගමන් කර යාපනයේ කදුරුගොඩ විහාරයට පැමිණිය හැක. මෙහි පාදාගෙන ඇති ස්තූප විස්සක් පමණ වේ. මෙහිදී හමුවූ පාත්‍රා කැබැල්ලක ක්‍රි. පූර්ව දෙවන සියවසට අයත් බ්‍රාහ්මී අක්‍ෂර සටහන් තිබෙන බව කියැවේ. දෙවැනි අග්බෝ රජතුමා (ක්‍රි. ව. 64 614) නාග දිවයිනෙහි රාජායතන ධාතු ගෘහය කරවූ බව වංශ කතාවල දැක්වේ. මෙතැනදී පුරාවස්තු රාශියක් ද හමුවී ඇති නිසා එම භූමිය රාජායතන චෛත්‍ය්‍ය තිබූ ස්ථානය වියැ හැකි බව ඇතැමෙක් අනුමාන කරති.
ඒ කෙසේ වෙතත් අද අප වැඳුම් පිදුම් කරන නාගදීපය නමින් හඳුන්වන්නේ නයිනතිව් නැමැති දූපතින් වටවූ පුද බිමට ය. අද ලක්‍ෂ සංඛ්‍යාත වූ බහුතර බෞද්ධ ජනතාව බුදුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිහිපත් කරන්නේ මේ පුද බිමේ සිටය.
නා රජුන්ගේ යුද උණුසුම තුරන් කිරීමට බුදුන් වහන්සේ අහසේ ඵලක් බැඳ වැඩ හිඳිමින් ප්‍රථමයෙන් මහා අන්ධකාරයක් මැවූ බවත් ඉන් සටන්කාමීන් බියට පත්වූ බවත් කියැවෙයි. දෙවැනුව එම බිය තුරන් කිරීමට මහා ආලෝක කදම්භයක් විහිදුවාලීය. කෝපාවිෂ්ඨ අඳුරු පටලය ඉරා දැමූ ඒ අරුණාලෝකයට මුළු උතුරුකරයම ආලෝකවත් වූවා නොඅනුමානය.
එසේ නම් අප සැමට, ඒ අසමසම බුද්ධ රශ්මියේ උණුසුමෙන් ප්‍රභාස්වර වූ බිමෙක කොතැන සිට හෝ නමස්කාර කළත් අප මහා බුදු පියාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය සිහිපත් කර සිත් සතන් පිවිතුරු කර ගත හැකිය.

නාගදීපයට යන්න ferry නෛනතිව් ජැටියේ උදේ හතේ ඉඳන් තියෙනවා. අපිටනම් නාවික හමුදාවේ ජෙට් බෝට්ටුවක් හම්බ උනා. පින්තූර ටිකත් බලලම ඉන්නකෝ එහෙනම්.