Tuesday, June 12, 2018

ගාල්ල - සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය

සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය


දක්ෂිණ ලංකාද්වීපයේ ඓතිහාසික ගාලූපුර කොටු පවුරෙහි පිහිටි  ඕලන්ද වාස්තුවිද්‍යාත්මක ශෛලියට අනුකූලව ඉදිකරන ලද ලන්දේසී බඩුගබඩා ගොඩනැගිල්ලෙහි (පැක් හවුස්) ස්ථාපිත කොට ඇති සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම හා එකම සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය වශයෙන් ඉතිහාසයට එක්ව ඇත. 

ශ‍්‍රි ලංකා-නෙදර්ලන්ත සහයෝගීතා ව්‍යාපෘතිය යටතේ නෙදර්ලන්ත රජයෙහි මුල්‍යාධාර හා ශී‍්‍ර ලංකා ජනරජයෙහි සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයත් මධ්‍යම සංස්කෘතික අරමුදල එක්ව නිර්මිත ගාල්ල සමුද්‍රපුරා විද්‍යා කෞතුකාගාරය ක‍්‍රිස්තු වර්ෂයෙන් 2010 මාර්තු මස 4 වන දින සිට ජනතා ප‍්‍රදර්ශනයට විවෘතව පවති. කෞතුකාගාර නිර්වචනය හා විෂය පථයට අනුකූල වන පරිදි මෙරට ඓතිහාසික ශ‍්‍රී විභූතිය අවලෝකනයට හා ප‍්‍රදර්ශනයට මෙහි දි හැකියාව ලැබී තිබේ. සෞන්දර්යාත්මක මෙන්ම ස්වභාවික සම්පත් සංකේන්ද්‍රිත භූමිභාගයකින් යුත් ශ‍්‍රී ලංකාව පුරාණ කාලයෙහි පටන්ම ඉන්දීය සාගරය හරහා ගමන්ගිය දුරුරට වාසීනට කේන්ද්‍රීය සංධිස්ථානයක් වී ඇත. ඉන්දීය උප මහද්වීපයට දක්ෂිණ දෙසින් ඉන්දීය සාගරයේ මධ්‍යගතව පිහිටි ශ‍්‍රී ලංකාව ඉන්දීය සාගර ලෝකයේ නානාවිධ නාලිකා ඔස්සේ ක‍්‍රියාකාරකම් හැසිර වූ විදේශීය ජාතීන්ගේ ආකර්ෂණයත් අවධානයත් දිනාගැනීමට සමත් වී ඇත. 

එහි ප‍්‍රතිඵල මත විවිධ අපේක්ෂා හා අභිමතාර්ථ මුදුන් පමුණුවා ගනුවස් ඉන්දීය සාගර ලෝකයේ සැරිසැරූ ගමන් වාර අතරමඟ ශ‍්‍රී ලංකා භූමියෙහි පා තබන්නට බොහෝ දෙනෙක් අමතක නොකළ බව ශේෂිත පුරාවිද්‍යාත්මක සාධකයන් සාක්ෂි දරනු ඇත. මේ සියලූ සංස්කෘතික සබඳතාවන් විධිමත් පසුබිමක සිට අර්ථාන්විතව හදාරන්නට ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයෙන් අවකාශ සැලසෙනු ඇත. ක‍්‍රිස්තු පූර්ව පළමුවන සියවසෙහි පටන් දහනව වන සියවසෙහි අවසානය දක්වා වූ දීර්ඝ කාලපරිච්ඡේදයෙහි යථොක්ථ සමාජ සන්දර්භයෙහි යටගියාව හා ඓතිහාසික උරුමය අනාගත පරපුර උදෙසා දයාද කරන්නට සමත් පුරාවස්තු, විෂයානුබද්ධ විඩියෝ දර්ශන, ආකෘති, ශාස්තී‍්‍රය පදනමකින් ලිය වී ඇති විස්තර පුවරු සහ ප‍්‍රතිනිර්මාණිත රාශියක් මෙහි දි ප‍්‍රදර්ශනය කෙරෙයි.

සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාර ගොඩනැගිල්ල

ඓතිහාසික ගාලූ කොටුවේ පිහිටි කළු කොටුවත් සූර්ය අට්ටාලයත් අතර මැද පිහිටා ඇති ලන්දේසී පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමෙහි භාණ්ඩ ගබඩාකර තැබීම සඳහා 1676 දි ඉදිකර අවසන් කරන ලද බඩුගබඩා ගොඩනැගිල්ල (පැක් හවුස්) ලෙස  ප‍්‍රකටව ඇති ගොඩනැගිල්ලේ සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය විවෘතව පවති. ඕලන්ද වාස්තුවිද්‍යා ශෛලීයට අනුකූල ඉදිකර ඇති විශේෂ ගොඩනැගිල්ලක් වන මෙම ගොඩනැගිල්ලේ ප‍්‍රදර්ශිත පුරාවස්තු මෙන්ම ගොඩනැගිල්ල ද ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්තය.

සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාර ලාංඡනය
උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ දූවේගල නැමැති ස්ථානයෙහි ඇති ක‍්‍රි.පූ. 2-1 කාලයට අයත් දූවේගල ශිලාලේඛනය නමින් ප‍්‍රකට, බරත සංඝරක්ඛිතගේ ගුහාව යනුවෙන් කෙටුම්පත්කර ඇති ශිලාලේඛනය සමගින් දක්නට ලැබෙන මෙම සංකේතය සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ නිල ලාංඡනයයි. තුඹගස සහිත නැව නිරූපිත මෙම සංකේතයෙන් දීර්ඝ කාලීනව අන්තර් සමුද්‍රික සබඳතා ඔස්සේ පවැති බහු සංස්කෘතිකත්‍වය නිරූපණය කෙරන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින්  යුතු යෝග්‍යතම සංකේතය ලෙස සලකා මෙම සංකේතය කෞතුකාගාරයේ නිල ලාංඡනය වශයෙන් එක්කොට ගෙන ඇත.

සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාර ලාංඡනය
උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ දූවේගල නැමැති ස්ථානයෙහි ඇති ක‍්‍රි.පූ. 2-1 කාලයට අයත් දූවේගල ශිලාලේඛනය නමින් ප‍්‍රකට, බරත සංඝරක්ඛිතගේ ගුහාව යනුවෙන් කෙටුම්පත්කර ඇති ශිලාලේඛනය සමගින් දක්නට ලැබෙන මෙම සංකේතය සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ නිල ලාංඡනයයි. තුඹගස සහිත නැව නිරූපිත මෙම සංකේතයෙන් දීර්ඝ කාලීනව අන්තර් සමුද්‍රික සබඳතා ඔස්සේ පවැති බහු සංස්කෘතිකත්‍වය නිරූපණය කෙරන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින්  යුතු යෝග්‍යතම සංකේතය ලෙස සලකා මෙම සංකේතය කෞතුකාගාරයේ නිල ලාංඡනය වශයෙන් එක්කොට ගෙන ඇත.





1 comment: