Monday, October 27, 2014

ගාල්ල - හැඳින්වීම....

ගාල්ල කියන නගරය ගැන නොදන්නා කෙනෙක් නෑ කියල මම දන්නවා. ඒ උනාට අපි නොදන්නා දේවල් ගොඩක් තියෙනවා කියල මම දන ගත්තේ ගලූ කොටුව බලන්න ගියහමයි. මම හොයාගත්ත විස්තර මින් ඉදිරියට ලිපි පෙලකින් සියලු දෙනාට කියවගන්න පුළුවන් වේවි.


හැඳින්වීම....

ගාල්ල ලෝක උරුම නගරයකි. වර්ග සැතපුම් හයහමාරක පමණ භූමි භාගයක් පුරා පැතිරී ඇති ගාල්ල පුරාණයේ සිට ප‍්‍රසිද්ධ වූයේ වෙළෙඳ නගරයක් ලෙසිනි. ඉන්දියා සාගරයේ වරාය අතර විශේෂ පිහිටීමක් ඇති ගාලූ වරාය පෙරදිග දියුණු වෙළෙඳ මධ්‍යස්ථානයක් විය. ඇතැම් විද්වතුන් විශ්වාස කරනුයේ බයිබලයේ පැරණි ගිවිසුමේ සඳහන් වන ටර්ෂිෂ් නගරය ගාල්ල විය හැකි බවයි. ටාර්ෂිෂ් යනු පෙරදිග පැවැති මහා වෙළඳ මධ්‍යස්ථානයක් විය.

අතීතයේ වරායට පැමිණෙන භාණ්ඩ ගෙන ආ ගැල් ගාල් කර තිබූ ස්ථානය ගාල, ගාල් වී පසුව ගාල්ල වීයැයි ඇතැමෙක් කියති. තවත් පිරිසකගේ මතය වී ඇත්තේ පර්වත බහුලව තිබූ ප‍්‍රදේශයක් බැවින් ගල් ගාල්ල වූ බවයි.


පෘතුගීසීන් ගාල්ලට පැමිණෙද්දී කුකුළෙකු හඩලනු අසා ගාලෝ ගාලෝ කී බවත් ඒ අනුව ගාලෝ පසුව ගාල්ල වී යැයි ද මතයක් පවතී. එහෙත් බටහිර ජාතීන් ලංකාවට පැමිණීමට පෙර පටන් ගාල්ලට ගාල්ල යන නාමය ව්‍යවහාර වූ බව අපගේ සංදේශ කාව්‍ය අනුව පැහැදිලි වේ. කෙසේ වෙතත් ගාල්ල යනු ලොව පුරා ජනපි‍්‍රයවූ අතීත වෙළඳ නගරයකි.

වංශ කථා සාධක අනුව ගාල්ල මුල්වරට සඳහන් වන්නේ මහා පැරකුම්බා රජු සුගලා දේවියට විරුද්ධව කළ සටන් වලදී වුවද ගැමුණු කුමාරයා යුද්ධයට යද්දී ගාල්ලේ තරුණයන් රැසක් මාගමට ගොස් හමුදාවට එකතුවූ බව ද කියැවෙයි. වළගම්බා රජුගේ අවදියේ රාජ කුමාරයකු ගාල්ලේ අක්මීමණ ප‍්‍රදේශයේ වාසය කැර ඇත.

ක්‍රි. ව. 1385 - 1391 අතර කාලයේ රචිත මයුර සංදේශයේ ගාල්ල පිළිබඳව විස්‌තර දැක්‌වෙයි. ගම්පොළ සිට දෙවිනුවර උපුල්වන් දේවාලයට සංදේශයක්‌ රැගෙන යන මයුර පක්‍ෂියාට සංදේශ කරු විසින් ගාල්ලේ ශ්‍රී විභූතිය හෙළිදරව් කරයි.

බාල්ලේ පුරුදු කවි නළු                     සියල්ලේ
ඊල්ලේ වදන් දුන්                         ලඳුනුදුල්ලේ
නෑල්ලේ කොතැනකවත් ලොව        මුළුල්ලේ
ගාල්ලේ සිරි දකිනොව                    පැකිල්ලේ

(
මයුර සංදේශය - 81 කවිය) 

 
ගම්පොළ යුගයේදී ලියැවුණු තිසර මයුර සංදේශයන්හි ගාල්ල ගැන වර්ණනා කැර ඇත. එහෙත් ගාල්ලේ මෑත ඉතිහාසය ආරම්භ වන්නේ සුළි කුණාටුවකට හසුව 1505 දී අහම්බෙන් ගාල්ලට පැමිණි ලොරෙන්සෝ ද අල්මේදා සමගිනි.





2 comments: