Thursday, February 19, 2015

මහෝදර මාමත් චූලෝදර බෑණාත් යුද වැදි නාගදීපය


නාගදීපය

යාල්පානම් ගොස් මන්නාරම්තොටෙන් කොළොම්තොටට පැමිණියෙමි....

බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවට වැඩියේ නාගදීපයට ය. එය සිදුවූයේ බුද්ධත්වයෙන් වසර 5 කට පසුව එළඹුන එක් බක් මස අමාවක පොහොය දිනකදී ය. මේ වනවිට අප මහා ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තුංග සම්බුද්ධත්ව මහා මංගල්‍යය සිදුවී වසර 2600 ක් ගතවී ඇත. එසේ නම් වර්තමානය වනවිට දෙවන ලංකාගමනය සිදුවී වසර 2595 ක් ගතවී තිබේ.


 
සම්බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය පිළිබඳව ත්‍රිපිටකයේ සඳහන් නොවෙතත් ඉතා පැරැණි වංශ කතා වූ දීප වංශය, මහා වංශය සහ සමන්තපාසාදිකාව වැනි ග්‍රන්ථයන්හි ඒ පිළිබඳ විස්තර සටහන් කර තිබේ.
ඒවාට අනුව බුදුන් වහන්සේ වැඩිය බව සඳහන් වන නාගදීපය නිශ්චිත එක් ස්ථානයක් නොවන බවත් එ දවස නාගදීපය යනු උතුරු ප්‍රදේශයට අයත් වන වපසරියක් බවත් වියතුන් බහුතරයකගේ මතය වී තිබේ.
වංශකතාවල සඳහන් වන පරිදි නාගදීපයට බුදුන් වහන්සේ පැමිණියේ නාග ගෝත්‍රිකයන් වූ මහෝදර මාමත් චූලෝදර බෑණාත් යන ඥාති නා රජුන් අතර, මිණි පළඟක් නිසා හටගන්නට ගිය සංග්‍රාමය නවතාලීමේ අරමුණෙනි. යුද්ධයට සැරැසී සිටි තැන අහසෙහි වැඩ සිටි බුදුන් වහන්සේ ධර්මය දේශනා කළහ. සමඟි වූ නාග ගෝත්‍රිකයෝ යුද්ධයට නිමිත්ත වූ මිණි පළඟ බුදුන් වහන්සේ වෙතට පූජා කළහ. බුදුන් වහන්සේ වැඩ සිටි ජේතවනාරාම භූමියේ වූ කිරිපලු රුකට අරක් ගත් සමිද්ධි සුමන නම් වෘක්ෂ දේවතාවා ද මේ සාම සංචාරයට එකතුවී බුදුන් වහන්සේ වඩින විට ජේතවනාරාම පොළොවෙන් උදුරාගත් එම වෘක්ෂය සේසතක් මෙන් ඉහළා ගෙන පැමිණියේ ය.

 
බුදුන් වහන්සේ වෙත පූජා කළ මිණි පළඟ ද කිරිපලු රුක ද උන්වහන්සේ නැවත නා රජවරුන් වෙතටම තිළිණ කරමින් මෙසේ වදාළ සේක. නාග රාජයෙණි! මාගේ පාරිභෝගික චෛත්‍යය වඳිවු. නාගයනි ! එය තොපට වැඩ පිණිස ද සැප පිණිස ද වන්නේය. සංග්‍රාමයට සූදානම් වූ එම භූමියෙහිම කිරිපලු රුක පිහිටුවා මිණි පළඟ ද තබා නා රජවරුන් විසින් සෑයක් කළ බවත් එය කිරිපලු සෑය නොහොත් රාජායතන චෛත්‍යය ලෙසින් ප්‍රකට වූ බව ද කියවෙයි. මේ රාජායතන චෛත්‍යය ස්ථීර වශයෙන්ම පිහිටියා වූ තැන කොතැනදැයි යන ප්‍රශ්නයට නිශ්චිත පිළිතුර තවමත් සොයාගෙන නොමැත.
පලාලී සිට කන්කසන්තුරේ මාර්ගයේ ගමන් කර යාපනයේ කදුරුගොඩ විහාරයට පැමිණිය හැක. මෙහි පාදාගෙන ඇති ස්තූප විස්සක් පමණ වේ. මෙහිදී හමුවූ පාත්‍රා කැබැල්ලක ක්‍රි. පූර්ව දෙවන සියවසට අයත් බ්‍රාහ්මී අක්‍ෂර සටහන් තිබෙන බව කියැවේ. දෙවැනි අග්බෝ රජතුමා (ක්‍රි. ව. 64 614) නාග දිවයිනෙහි රාජායතන ධාතු ගෘහය කරවූ බව වංශ කතාවල දැක්වේ. මෙතැනදී පුරාවස්තු රාශියක් ද හමුවී ඇති නිසා එම භූමිය රාජායතන චෛත්‍ය්‍ය තිබූ ස්ථානය වියැ හැකි බව ඇතැමෙක් අනුමාන කරති.
ඒ කෙසේ වෙතත් අද අප වැඳුම් පිදුම් කරන නාගදීපය නමින් හඳුන්වන්නේ නයිනතිව් නැමැති දූපතින් වටවූ පුද බිමට ය. අද ලක්‍ෂ සංඛ්‍යාත වූ බහුතර බෞද්ධ ජනතාව බුදුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිහිපත් කරන්නේ මේ පුද බිමේ සිටය.
නා රජුන්ගේ යුද උණුසුම තුරන් කිරීමට බුදුන් වහන්සේ අහසේ ඵලක් බැඳ වැඩ හිඳිමින් ප්‍රථමයෙන් මහා අන්ධකාරයක් මැවූ බවත් ඉන් සටන්කාමීන් බියට පත්වූ බවත් කියැවෙයි. දෙවැනුව එම බිය තුරන් කිරීමට මහා ආලෝක කදම්භයක් විහිදුවාලීය. කෝපාවිෂ්ඨ අඳුරු පටලය ඉරා දැමූ ඒ අරුණාලෝකයට මුළු උතුරුකරයම ආලෝකවත් වූවා නොඅනුමානය.
එසේ නම් අප සැමට, ඒ අසමසම බුද්ධ රශ්මියේ උණුසුමෙන් ප්‍රභාස්වර වූ බිමෙක කොතැන සිට හෝ නමස්කාර කළත් අප මහා බුදු පියාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය සිහිපත් කර සිත් සතන් පිවිතුරු කර ගත හැකිය.

නාගදීපයට යන්න ferry නෛනතිව් ජැටියේ උදේ හතේ ඉඳන් තියෙනවා. අපිටනම් නාවික හමුදාවේ ජෙට් බෝට්ටුවක් හම්බ උනා. පින්තූර ටිකත් බලලම ඉන්නකෝ එහෙනම්.













No comments:

Post a Comment