Monday, February 9, 2015

මඩකලපුවට චාරිකාවක් - 3

මඩකළපුවට අඩි 110ක්‌ ඉහළින්

යුද භීතිය පහව ගිය මඩකළපුව අද සාමයෙන් පිබිදෙනවා. එදා හවස තුන-හතර වෙන විට වැසීගිය මඩකළපුව නගරය වෙනුවට දැන් එහි තියෙන්නේ රෑ බෝවන තුරාම අවදි වූ උද්යෝගයෙන් පිරුණු වටපිටාවක්‌. කල්ලඩි පාළමෙන් එගොඩව කල්ලඩි සුන්දර වෙරළ තීරයට එකතුවන ළමෝ-ළපටි වැඩිහිටියන් හිතේ හැටියට තමන්ට උදාවූ නිදහස භුක්‌ති විඳිනවා. මඩකළපුවේ කල්ලඩි වෙරළ වගේම, කාත්තන්කුඩි සුන්දර වෙරළ තීරයත්, (මඩ)කළපුව මුහුදට විවරවන මෝය කට පිහිටි මොහොත්තුවාරම ප්‍රදේශයත් මේ ගෙවී ගිය පාසල් නිවාඩු කාලයේදී සංචාරකයින්ගෙන් පිරී ඉතිරී ගියා. 



මඩකළපු ගිය දිනවල අප එක්‌ දිනක්‌ වෙන්කරගත්තේ මෙසේ (මඩ)කළපුව මුහුදට විවෘත වන මෝය පිහිටි මොහොත්තුවාරම ප්‍රදේශයේ ගත කිරීම සඳහා. කළපුව සුන්දරව මෙහි සිට අත්විඳිය හැකිව ඇති නිසාත්, කළපු ධීවරයන්ගේ (ඔරු, බෝට්‌ටු හා රිටිපන්න ධීවරයන්) කටයුතු දැක බලා ගැනීම සඳහාත් මෙම ප්‍රදේශය ඉතා හොඳ තෝතැන්නක්‌ වනවා මෙන්ම, මොහොත්තුවාරම කෙළවර මඩකළපුවේ පැරණි, ප්‍රකට ප්‍රදීපාගාරයද පිහිටා තිබෙනවා. මෙම ප්‍රදීපාගාරය පිහිටි පරිසරය ඇත්තටම හරිම චමත්කාරජනකයි. නොගැඹුරු කළපුවත්, කළපුවේ ඇති ශාක පද්ධතියකින් පොහොසත් දූපත් කිහිපයත්, මෝදර ප්‍රදේශයේ ඇති වැලිතීරයත් දුටුවන් මන්මත් කරවනවා. එනිසාම මෙහි ඇදී එන සංචාරකයන් සඳහා දැන් එහි ළමා උද්‍යානයක්‌, විවේක ගැනීමේ පහසුකම්, කළපු බෝට්‌ටු සේවාවක්‌ වගේම වාහන නැවතුම් අංගනයක්‌ද ඇතුළත්ව තිබෙනවා. මඩකළපුව නගර සභාව මගින් මෙන්ම පොලිසිය හා ආරක්‍ෂක අංශයත් මෙහි ආරක්‍ෂාව තහවුරු කරනවා. එනිසා මොහොත්තුවාරමේ සංචාරය කිරීම කාටත් හොඳ අත්දැකීම් ලබන්නට අවස්‌ථාව උදාකරනවා.


මඩකළපුව නගරයෙන් කල්ලඩි දෙසට ගිය අපි, සුප්‍රකට කල්ලඩි කළු පාළමෙන් එගොඩ නොවී, පාළම ආරම්භයත් සමඟම වමට වැටී ඇති කළපුව දිගේ මොහොත්තුවාරමට යැමට ඇති මාර්ගයට ප්‍රවිෂ්ට වුණා. ඒ, මොහොත්තුවාරමේ මෙන්ම ප්‍රකට මඩකලපු ප්‍රදීපාගාරයද දැකගැනීමට යැමේ අපේක්‍ෂාවෙන්. එතැන් සිට කළපුවේ අසිරිය විඳ ගනිමින් ඉදිරියට ගමන් ගත් අපි, තවත් කිලෝමීටර් 3-4 ක්‌ පමණ ගෙවා ප්‍රදීපාගාරය අසල වෙරළ උද්‍යානයට පැමිණියා.
මේ අව් අස්‌සේ අප වෙරළතීරයේ සෞන්දර්යය අත්විඳ ඊළඟට පැමිණියේ බ්‍රිතාන්‍ය පාලන යුගය පිළිබඳව මෙහි ඉතිරිව පවතින දැවැන්ත මඟසලකුණක තොරතුරු දැන කියා ගැනීමේ අටියෙන්. ඒ තමයි මඩකළපුවේ ප්‍රදීපාගාරය.
මේ මම මඩකළපුව ප්‍රදීපාගාරයට ගිය දෙවැනි අවස්‌ථාවයි. එහෙත්, මෙවර අපිට ඊට වඩා ආශ්වාදජනක ලෙස මේ ප්‍රදීපාගාර ස්‌ථම්භයේ පහස ලබන්නට අවස්‌ථාව උදාවුණා. මෙවර අපි එහි යන විට ප්‍රදීපාගාරය ප්‍රතිසංස්‌කරණය කර අවසන් වී තිබුණා පමණක්‌ නොව, එය මහජනතාවට විවෘතව තිබුණේ හැකියාවක්‌ ඇති අයට පමණක්‌ ඒ තුළින් අඩි 110 ක්‌ පමණ ඉහළට නැග හාත්පස සුන්දරත්වය අතිශය ප්‍රීතිජනක ලෙස අත්විඳීම සඳහාත් අවස්‌ථාවක්‌ උදාකර දෙමින්. එනිසා තවත් අඩ හෝරාවක පමණ කාලයක්‌ වැඩිපුර ගනිමින් මේ ප්‍රදීප ස්‌ථම්භය තරණය කරන්නත් මෙවර මා අමතක කළේ නැහැ.
වෙනත් ප්‍රදීපාගාර මෙන්ම මඩකළපුවේ මෙම ප්‍රදීපාගාරයත් නිර්මාණය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින්. ඒ බ්‍රිතාන්‍ය පාලන සමයේදී. ධීවර ඇතුළු නාවික කටයුතු සඳහා එකළ මහත් ප්‍රයෝජන ගෙන දුන් මෙම ප්‍රදීපාගාරය ආරක්‍ෂක අතිනුත් ඉංග්‍රීසීන්ට වැදගත් වුණා. මෙම ප්‍රදීපාගාරය ඉදිකර ඇත්තේ 1913 දී. මෙහි උස අඩි 110 ක්‌. අභ්‍යන්තරයෙන් ඉහළටම නැඟ යාහැකි පරිදි මෙහි යකඩින් තැනූ ඉනිමං යොදා දැන් සකසා තිබුණත් තරබාරු අයට මෙන්ම ළමයින්ට මෙහි යැම තරමක අනතුරුදායක බවත් මෙහි ලියා තැබීම වටිනවා. මන්ද, ඉනිමගේ භාවිත කර ඇත්තේ යකඩ බට නිසාත්, ඉහළ දී ප්‍රදීපාගාරයේ වටප්‍රමාණය ක්‍රමයෙන් කුඩා වන නිසාත්, තරබාරු අය එහි හිරවීමකට ලක්‌වන නිසාය.


මඩකළපුව ප්‍රදීපාගාරය අද හොඳින් සංරක්‍ෂණය කර ඇති අයුරු දක්‌නට ලැබෙනවා. එහි පුරාවිද්‍යාත්මක වටිනාකම් රැකෙන පරිදි හා එහි අගය සංචාරකයන්ට දැනෙන පරිදි ආරක්‍ෂාවීම සැබැවින්ම අගය කළ යුත්තකි. එහි ගිය අපට, ප්‍රදීපාගාරයේ එදින සිටි භාරකරු විසින් ඊට නැග එම අත්දැකීම විඳගන්නට අවස්‌ථාවක්‌ සලසා දුන්නේය. ඉහළින්ම ඇති විදුලි ලාම්පුව අසලින් එළියට ඇති ද්වාරයෙන් රිංගා ඒ වටා ඇති කොරිඩෝවට ගිය පසු දකින්නට ලැබුණු අවට පරිසරයේ සුන්දරත්වය වචනයෙන් කියා විග්‍රහ කරන්නට බැරිතරම්ය. අඩි 110 ක්‌ ඉහළ සිට දකින මුහුදු ප්‍රදේශය, කළපුව, දූපත් සමූහය, ළමා උද්‍යානය යනාදී ප්‍රදේශ ඉතා නෙත්කලු ආකාරයෙන් මෙහි සිට හොඳින් පෙනේ. 














 එම දර්ශන තලය ඇති උස්‌බිමක්‌ තවත් මඩකළපුවේ නැත. එනිසා සැබැවින්ම මෙම ප්‍රදීපාගාරයේ ඉහළ සිට දකින දසුන් ආශ්චර්යයෙන් පිරි ඒවා වන අතර මෙයට ගොඩනොවන කිසිවකුට හෝ එම අත්දැකීමද කවරදාක හෝ අත්විඳිය නොහැකිය. එනිසා මඩකලපුවට ගිය දිනෙක ඔබත් මෙම ආශ්වාදය විඳ බලන්න. නමුත් පෙර සඳහන් කළාක්‌ මෙන් දරුවන්ට, තරබාරු අයට මෙම ගමන නුසුදුසු වන අතරම කාන්තාවන්ද තමන්ට විශ්වාසයක්‌ නැතිනම් ප්‍රදීපාගාරය අසලට නොගොස්‌ සිටීම වඩාත් යහපත්ය.
නවීකරණය කරන ලද මෙම ප්‍රදීපාගාරයේ විදුලි පහන වර්තමානයේදි බැටරි බලයෙන් ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයට පත්කර තිබේ. එවන් කරුණු කාරණාද අප මෙම ස්‌ථම්භයට නැගීමෙන් පසු අත්දුටු අතර අවට රූ සොබාවද ඡායාරූප ගතකරන්නට අප අමතක කළේ නැත.

No comments:

Post a Comment