Thursday, July 16, 2015

මුහුදු ජලයෙන් පහන් දල්වන වට්ටාපලෙයි කෝවිල

යාල්පානම් ගොස් මන්නාරම්තොටෙන් කොළොම්තොටට පැමිණියෙමි....

මුහුදු ජලයෙන් පහන් දැල්වෙන බව ඔබට පැවසුවොත් සිනහ පහලවනු ඇත. එවිට ඔබගේ සිහියට නැගෙන්නේ පොල්තෙල් පහනකට ජලය බිදුවක් වැටුනොත් චුරු චුරු හඩනගමින් එය නිවීයන බවනොවේද? 
මුහුදු ජලයෙන් දෙවියන් උදෙසා පහන් දල්වන ආශ්චර්ය දැක බලා ගැනීමට යායුත්තේ හින්දු බැතිමතුන්ගේ මහත් ගෞරවාදරයට පාත්‍රවූ මුලතිව් නන්දිකඩාල් කලපුවේ ස්ථාපිත වට්ටාපලෙයි කන්නගි අම්මන් කෝවිලටය.එම කෝවිලේ වාර්ෂික උත්සවය ශ්‍රී ලංකා යුධ හමුදාවේ පූර්ණ දායකත්වයෙන් පසුගියදා ලක්ෂ පහකට අධික බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් නිමාවට පත්විය.
මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ වට්‌ටාපලෙයි ගම්මානයේ පිහිටි කන්නගි අම්මාන් ඉපැරැණි හින්දු කෝවිල ප්‍රසිද්ධ වී ඇත්තේ වට්‌ටාපලෙයි කෝවිල යන නමිනි. මෙහි පත්තිනි අම්මාගේ එක් පෙනී සිටීමක් ලෙස සලකන කන්නගි අම්මා දේව මාතවට පුද පූජා පැවැත්වීම සිදුකෙරේ.
දින අටක් පුරා පැවැති විශේෂ පුදාපූජා ඇතුළු වාර්ෂික මංගල්‍යය පසුගිය දා අවසන් විය.
දෙවියන් පාමුල මුහුදු වතුරෙන් පහන් දල්වා ඇති අයුරු
දැඩි භක්‌තියකින් හා විශ්වාසයකින් වට්‌ටාපලෙයි කෝවිල වෙනුවෙන් හින්දු බැතිමත්හු වසර පුරාම බාරහාර වෙති. කෝවිලේ වාර්ෂික මංගල්‍යය පැවැත්වෙන දිනයේ දී බාරහාර ඔප්පු කිරීමට පැමිණෙන හින්දු , සිංහල හා විදේශිකයන් ඇතුළු ලක්ෂ පහකට අධික බැතිමතුන්ගෙන් වට්‌ටාපලෙයි කෝවිල් භූමිය එකම මිනිස්‌ හිස්‌ ගොඩක්‌ බවට පත්වී තිබුණි. වට්‌ටාපලෙයි කෝවිල් ඉතිහාසය පුරාවට තමන් දන්නා කාලවකවානුවක විශාලම පිරිසක්‌ එක්‌ වූ අවස්‌ථාව මේ වසර බව කෝවිල් භාරකාර සංගමයේ සභාපති එම්. කුගදාසන් මහතා පැවසීය.
මුලතිව් වට්‌ටාපලෙයි හින්දු කෝවිලේ වාර්ෂික මංගල්‍යයට යාපනය, කිළිනොච්චිය හා මන්නාරම යන ප්‍රදේශවල සිට කැලෑබද මාර්ගවලින් කෝවිල් භූමිය කරා බැතිමත්හු පාගමනින්ම ළඟාවෙති. කැලෑබද මාර්ගවලින් එසේ සැතපුම් ගණනාවක්‌ දුර ගෙවමින් පැමිණීම ද බාරහාර වීමේ සම්ප්‍රදායේ තවත් ලක්‍ෂණයකි.

කිරි කළයක් හිස මත තබා කටටු කටු ගසා 


බාර හාර ඔප්පුකරන කාන්තාවක්
වට්ටාපලෙයි කන්නගි අම්මන් කෝවිල

අතීත පුරාවෘත්ත වල සදහාන් හාස්කම් පාන ලද වෘක්ෂය
වට්‌ටාපලෙයි හින්දු කෝවිලේ වාර්ෂික මංගල්‍යයේ අවසාන දින සවස දෙවියන්ට පුදපූජා පවත්වන අවස්‌ථාවේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා මගින් ගුවනේ සිට කෝවිලට මල් ඉසීම සිදු කෙරිණි. හෙලිකොප්ටර් යානා මගින් වට්‌ටාපලෙයි කෝවිලට මල් ඉසින විට ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන් ස්‌‍ත්‍රෝත්‍ර ගයමින් දෙවියන්ට ඕම්කාරය නැගූහ.
වට්‌ටාපලෙයි කෝවිලේ පැවැත්වෙන චාරිත්‍ර අතර ඉතාම සුවිශේෂී වතාවත වන්නේ මුහුදු ජලයෙන් පහන් දැල්වීමයි. මුහුදෙන් ලබාගන්නා ජලයෙන් පහන් දැල්වෙන ආකාරය අපටද දැකගත හැකි විය. වට්‌ටාපලෙයි කෝවිලේ මහානුභාවය නිසාම එය සිදුවන බවට බැතිමත්හු විශ්වාසය පළ කරති. විශේෂ පුජෝපහාර විධි අනුව මුහුදේ එක්තරා ස්ථානයකින් ලබාගන්නා ජලයෙන් දෙවියන් උදෙසා පහන් දැල්වීම සිදුකරයි.
කෝවිලේ දිනපතා තේවා කටයුතු සිදුකරන්නේ පුරාණයේ සිට එකම පරපුරකිනි. අද එහි පස්වන පරම්පරාවෙන් පැවැත එන පිරිස මේ තේවා කටයුතු සිදුකරයි. 
අතීතයේ එක්තරා දිනයක මේ ප්‍රදේශයේ තරුණයන් පිරිසක් කුඹුරු වැ‍‍ඩෙහි යෙදෙමින් සිට ඇත. අදටත් මේ කෝවිල ආශ්‍රිත ‍ප්‍රදේශයේ සරු සාර කුඹුරු යායවල් දැක ගත හැක. මෙම කුඹුරේ ගොවිතැන් කටයුතු වල නිරතව සිටි තරුණයන් අභියසට මහලු කාන්තාවක් පැමිණ තමාට කුසගිනි බැවින් තමන්ට ආහාර පිණිස යමක් දෙන ලෙස ඉල්ලා සිටිමින් කොහොඹ ලීයකින් කළ නගුලක් මත වාඩි වූවාය. ආහාරයට අවශ්‍ය මොනවාදැයි ඇයගෙන් විමසූ තරුණයන්ට පවසා ඇත්තේ තමන්ට කිරිබත් අවශ්‍ය බවයි. අනතුරුව කිරි දෙනකගෙන් ලබාගත් කිරි උතුරවා එයට සහල් එක්කොට කිරිබත් පිස මෙම කාන්තාවට පිළිගන්වා ඇත. මේ කටයුතු නිමවෙන විට රාත්‍රිය උදා‍වී තිබේ. එබවින් අවශ්‍ය ආලෝකය සපයා ගැනීමට මෙම තරුණයන්ට පහනක් දල්වන ලෙස කාන්තාව පවසා ඇත. නමුත් ඒ සදහා පොල්තෙල් නොමැති බව මෙම තරුණයන් කාන්තාවට පැහැදිලි ‍කර ඇත. එම කාන්තාව පහනක් දැල්වීමට පොල්තෙල් අවශ්‍ය නොමැති බවත් ඉදිරිපිට ඇති මුහුදෙන් මුහුදු වතුර ගෙනවිත් පහනක් දල්වන ලෙස පවසා ඇත. ඒ අනුව ක්‍රියා කළ තරුණයන් පිරිස ඇය කියු පරිදි මුහුදු ජලය ගෙනවිත් පහනක් දල්වා තිබේ. අනතුරුව මෙම තරුණයන් ඇමතූ එම කාන්තාව තමාට එසේ පුද සත්කාර කරන්නේ නම් ඔවුන්ගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට තමා ආශිර්වාද කරන බව පවසා අතුරුදහන්ව ඇත. එම කාන්තාව වාඩිවූ කොහොඹ නගුල එම ස්ථානයේම පැලවී ගසක් බවට වැඩී තිබේ. ඒ පැමිණ ඇත්තේ කන්නගි අම්මා බව විශ්වාස කරන එම පළාතේ ජනතාව එම ස්ථානයේ‍ කෝවිලක් කරවා එදා පටන් අද දක්වාම වසරක් පාසා කිරි උතුරවිමින් කිරිබත්(පොංගල් බත්) උයමින්, මුහුදු වතුරෙන් පහන් පත්තු කරමින් එම සිද්ධිය සමරමින් කන්නගි දේව මාතාවට පූජෝපහාර දක්වයි.
ඕලන්ද ජාතිකයන් මෙරට පාලනය කරද්දී යාපනය කොටුවේ සිට මෙම කෝවිල බැලීමට අශ්වයෙකු පිට නැගී ඕලන්ද ආණ්ඩුකාරවරයෙකු පැමිණ තිබේ. එම පුද්ගලයා මෙම කෝවිලේ එවකට සිටී පුජකවරයා අමතා නුඹලා ගේ ඔය දෙවියන්ගේ ඇති හාස්කම් මොනවාද පුළුවන්නම් ඒවා පෙන්නාපල්ලා යැයි කියමින් සමච්චල් කොට තිබේ. එවිට කෝවිලේ පූජකවරයා යෂ්ඨියක් අතට ගෙන අසල ඇති ළිදෙන් ජලය ස්වල්පයක් එයට ඉස එම යෂ්ඨියෙන් කෝවිල පසෙක ඇති විශාල වෘක්ෂයකට තට්ටුකර තිබේ. මෙම වෘක්ෂය අදටත් මෙම පුජනීය භූමියේ ඇති අතර එම වෘක්ෂය දෙමළ ජනතාව හදුන්වනු ලබන්නේ "පනිච්චම් මරම්," "අනිච්චම් මරම් " යන නම් වලිනි.මෙහි මල් ලා දම් පැහැයක් ගන්නා අතර ඒවා සිඹි පමණින් මැලවෙන බව දෙමළ ජනතාව විශ්වාස කරයි. මෙම ගසට පූජකවරා තට්ටු කිරීමත් සමග ගස වේගයෙන් සෙලවෙන්නට පටන් ගෙන තිබේ. ඒ දෙස බලා සිටි ඕලන්ද ජාතිකයා වෙත මේ ගසේ ගෙඩි ගැලවී විත් වේගයෙන් ශරීරයේ වැදෙන්නට පටන් ගෙන තිබේ. එයින් ගැලවීමට මොහු දිව ගොස් ඇති අතර පසුපස එලවමින් මේ ගසේ ගෙඩි ඔහුට පහර දීමට පටන් ගෙන තිබේ. ඉන් ගැලවීම සදහා නන්දිකඩාල් කලපු‍වට පැන තිබේ. ජලයට පැන්නත් මෙම ගසේ පහරදීම නතර නොවූහෙයින් තමාට සමාවන ලෙස පැවසූ ඕලන්ද ජාතිකයා මේ කෝවිලට රාජ අනුග්‍රහය ලබාදෙන බවත් පුද පුජා පවත් වන බවටත් තමා භාර වන ලෙස පූජකවරායාට පැවසීමෙන් අනතුරුව මෙම ගෙඩිවලින් පහර දීම නැවතී තිබේ. අනතුරුව ඕලන්ද ආණ්ඩුකාර වරයා මෙම කෝවිල සදහා රාජ අනුග්‍රහය ලබා දී තිබේ.
මෙම ගස සෙලවීමට ජලය ඉසින ලද ළිද අදටත් මෙම ස්ථානයේ ඇති අතර එම ළිදේ ජලය උත්සව අවස්ථාවලදී ක්ෂණිකව පොළව මට්ටමින් අඩි එක හමාරක් පමණ ඉහලට ඇති බවත් වට්ටප්පලෙයි කෝවිලට පැමිණෙන බැතිමතුන් පවසති. 
මානුෂීය මෙහෙයුම පැවතීමට පෙර සිට ‍අඛණ්ඩව මෙම කෝවිලේ පූජා කටයුතු අඛන්ඩව සිදු කර ඇති අතර මානූෂීය මෙහෙයුමේ අවසන් අදියර පැවති නන්දිකඩාල් කලපුවේ මෙම කෝවිල පැවතියද දෙපාර්ශවයේ මෝටාර් හා කාලතුවක්කු උන්ඩ දෙපසට හුවමාරු වෙද්දී මැදිව තිබූ මෙම කෝවිලට කිසිදු හානියක් නොවුයේ මෙහි ඇති බල මහිමයට බවද බැතිමත්හු පවසති. 
වට්‌ටාපලෙයි කෝවිලේ වාර්ෂික මංගල්‍යය කාවඩි නැටුමෙන් හා සංගීතයෙන් අලංකාරව තිබු අතර . කුඩා කලයකට කිරිදමා ඊට කොහොඹ අතු යොදා අලංකාර ලෙස සරසන ලද කළය හිස මත තබාගෙන කිරි නොඉහිරෙන පරිද්දෙන් දෙවියන්ට ගෞරව දක්වමින් රංඟනයේ යෙදීම තවත් පිරිසක්‌ සිය සිරුරේ පිටට කොකු ගසා ලණුවල ආධාරයෙන් එල්ලී කොහොඹ අතු හා කුඩා දරුවන් දෑතට ගෙන කෝවිලේ දෙවියන්ට නමස්‌කාර කිරීම ආදිය සුවිශේෂී අංගයන් ලෙස අපට පෙනිණි.
මෙම කෝවිල සදහා බොහෝ බැතිමතුන් පැමිණ සිටියේ දරුඵල ලබා ගැනීමට, වසංගත රෝග වලින් සුවය ලබා ගැනීමට වූ භාරයන් ඔප්පු කිරීම පිණිසය.
උදේ 7.00, දහවල් 12.00 සහා සවස 5.00 ට දිනපතා ‍වට්‌ටාපලෙයි කෝවිලේ පුජාවන් පැවැත්වෙයි.

1 comment: