Thursday, August 21, 2014

මිනිසුන්ට හොරෙන් සිදුකරන කතරගම කප් සිටුවීම


 “කණු කපන මංගල්ලය” හෙවත් ‘කප් සිටුවීම’ රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික සිව් මංගල්ලයෙන් එකකි. එසේම රටට වැහි ඵල පතා  සශ්‍රීකත්වය වඩවාය යන අරමුණ පෙරදැරිව කතරගම සුරිඳුන්ගේ පිහිට ආරක්ෂාව පැතීම මෙහි අරමුණයි.අනෙක් අතට කණු කපන මංගල්ලය කතරගම මහ දෙවො‍ලේ දේව සම්ප්‍රදායට පමණක් සීමා වූවකි. මන්දයත් සිව් හෙළයේ ගම් නියම්ගම් සිසාරා එක සේ ගොවිතැන් බතටත් ජන දිවියටත් බලපෑ ප්‍රචලිත දෙවතාවා වන්නේද කතරගම දෙවිඳුන්ය. එහෙත් පළාත්බද කිසිදු කතරගම දේවාලයක කණු කපන මංගල්ලයන් සිදුනොවේ. ඒ ඒ දෙවාල සම්ප්‍රදායන්ට අනුව පෙරහර මංගල්ලයන් පැවැත්වීම සිදුකෙරේ. එයට අනුරූපව ‘කප් සිටුවීමේ’ සම්මතයන්ද පවතී. එනමුදු කතරගම මහ දෙවො‍ලේ කණු කපන මංගල්ලය හා දේව සම්ප්‍රදායන්ද ඒ හා සබැඳි රහස්‍ය වතාවත්ද කතරගම දෙවිඳුන්ගේ අනුහස ප්‍රකට කරන වතාවත් ලෙස සැලකේ.

කතරගම දේව සම්ප්‍රදායන්ට අනුව වාර්ෂිකව මහ කතරගම දේවාලය මගින් මංගල්ලයන් හතරක් කළ යුතුව ඇත. ඒ ඇසළ මහා මංගල්‍යය, ඉල් මහා මංගල්‍යය අවුරුදු මංගල්ලය හා කණු කපන මංගල්ලය ලෙසිනි. දැනට වාර්තාවන ජන සම්ප්‍රදායන් හා කතාවන්ට අනුව කතරගම කණු කපන මංගල්ලය සඳහා පදනම සැකසී තිබෙනුයේ ක්‍රි.පූ. 61 දී දුටුගැමුණු රජතුමාගේ ඉල්ලීමකට අනුවය. එහෙයින් ක්‍රි.පූ. 62 සිට මෙලෙස කණු කැපුම් හෙවත් කප සිටුවීමේ සම්ප්‍රදාය ආරම්භ වී ඇත.


ඇසළ මාසයේදී පැවැත්වෙන වාර්ෂික පෙරහර මංගල්ලය නිමිතිකරගෙන එයට පූර්වයෙන් සිරිත් සම්මත දේව චාරිත්‍ර ඉටුකිරීමේ අවස්ථාවක් ලෙස කණු කැපීමේ මංගල්ලය පැවැත්වේ. මෙහිදී නැකත් හා සුබ මුහුර්ත විමසීමට මුල් තැන ලබා දේ. එයට අනුව පළමුව ඇසළ පෙරහර මංගල්ලයට සුබ මුහුර්ත පිළියෙළ කෙරේ. එතැන් සිට දින හතළිස් පහක් පූර්වයේ එළඹෙන වෙසක් හෝ ‍පොසොන් ‍පෝය ගෙවුණු පසු එළැඹෙන සුබ මුහුර්තයක් පිළියෙළ කෙරේ. මේ සියල්ල කතරගම දේවාල පෙරහර නැකත් සම්ප්‍රදායන් මුල් කරගනිමින් නැකත් රාළ විසින් පිළියෙළ කරන්නකි. අනතුරුව එළඹෙන්නේ බ්‍රහ්මමූර්තියෙන් එළඹෙන සුබ  නැකතට අනුව කප කණු කැපීමේ චාරිත්‍රයයි.


මෙලෙස ‘කප’ පිහිටුවීම දුරාතීතයේ සිට පවතින චාරිත්‍රයක් ලෙස හැඳිනගත හැකිය. ඕනෑම සුබ කටයුත්තක් ආරම්භ කිරීමට පෙර එය සාර්ථක වේවායි සුබ පැතුම් ඉෂ්ඨාර්ථයන් සිතාගෙන නැකතට කණුවක් සිටුවා එහි ‍පොල්මල්, පුවක්මල් හෝ ඇවරිගසන ලද ‍පොල් ගෙඩි එල්ලීම සිරිතකි. කොටින්ම මඟුල් මඩුවක් තනන විටද නිවසක්, වැවක්, තොරණක් හෝ එබඳු ඉදිකිරීමක් සිදුකරන විට ද එය අනුගමනය කරන චාරිත්‍රයකි. එය අතීතයේ පෞර රාජ්‍යයන් පැවැති සමයේ නගර මධ්‍යයේ ‘ඉන්ද්‍රඛීලය’ සිටුවීමට සමානය. එමගින් රජුගේ අභිමානය, පෞරුෂය, තේජස, මෙන්ම ලිංගික සවිමත් බවද විදහා දක්වයි. ඒ සියල්ලෙහි මානව අරමුණ නම් ‘කප’ සිටුවීම බඳු ක්‍රියාවක් මගින් මනා පෞරුෂ ගුණයෙන් යුතු සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කිරීමය. කතරගම දෙවිඳුන් අරබයා කණුකපන මංගල්ලය පැවැත්වීමෙන්ද මේ අරමුණු අපේක්ෂා කෙරේ.


එහෙයින් කතරගම දේවාලයේ වාර්ෂික කප් සිටුවීම පිණිස මැණික් ගඟබඩින් කිරිගසක් තෝරා ගනියි. එය රහස්‍ය තේරීමක්ද වේ. එසේම මේ සඳහා බහුල ලෙස යොදා ගන්නේ ‘රත් කරව්’ ගසක කොටසකි. කප කැපීම පිණිස කිසිදු ජනසම්මත කිල්ලකට ගොදුරු නොවූ කපුවන් සහභාගි වීම අනිවාර්ය වේ. මන්ද මෙය ශුද්ධ සංකල්පයකි. එහෙයින් කතරගම මහ දෙවො‍ලේ තේවා භාරව සිටින කපු මණ්ඩල හයෙන් තේවා භාර කපු මණ්ඩල දෙකක් මෙයට ඉදිරිපත් වේ.


පාන්දර බ්‍රහ්ම මූර්තියෙන් පැමිණි මේ කපු මණ්ඩල ධවල වස්ත්‍රයෙන් සැරසී සිටීම අනිවාර්ය වේ. පළමුව තෝරාගත් රත් කරව් ගස පාමුලට පැමිණ කන්නලව් කියා දේව බැතිය පළකර සුවඳ දුම් අල්ලා දෙහි ඇඹුල් ගා පැන් වඩා පෙර සිරිත් වතාවත් සියල්ල පිළිවෙළට අනුගමනය කරයි.


ඒ කටයුතු හමාරව එළඹි සුබ මුහුර්තයට අනුව යෙදී තිබෙන සුබ දිශාව බලා ‘කප’ කපා වෙන්කර ගනියි. රියන් නවයක් උසින් යුතුව කප බේරා ගැනීම හෙවත් ‘කප’ වෙන්කර ගැනීම ඒ අනුව සිදුවේ. මෙලෙස වෙන්කරගත් කප ප්‍රදර්ශනය කිරීම, බිම තැබිම හෝ එයට අවමන් වන සේ පරිහරණය කිරීම දේව තහංචියකි. කප කැපීම හා බැඳී පවතින සම්මත සිරිත් චාරිත්‍ර අනුගමනය කරමින් කපු මණ්ඩල රාජකාරිකරුවන් මේ කටයුතුවල යෙදෙනුයේ මහත් බැතියෙනි.


මෙලෙසින් කපා ගත්තා වූ ‘කප’ පෙරහරින් වල්ලි අම්මා දේවාලයට වඩමවාගෙන එනු ලබයි. මෙහිදී මැණික් ගඟේ ‘රදා තොට’ හෙවත් ඇපුල්ලුම් මටකඩට කප රැගෙන විත් දෙහි ඇඹුල් ගල්වා නානුමුරයක් පවත්වනු ලබයි.


මේ සිරිත් ප්‍රකාරව රදා තොටදී නානුමුරකර ගෞරව ශුද්ධ භාවයට පත් කළ කප එදින වල්ලි අම්මා දේවාලයේ තැන්පත් කිරීම සිදුකරයි. කිසිදු විටක පිටස්තර පුද්ගලයින්ට මේ කප ස්පර්ශ කිරීම, අතින් තබා ඇසින් වත් නොකළ හැකි ලෙස ආරක්ෂා කෙරේ.


අනතුරුව පසුදින පාන්දර හතරට වල්ලි අම්මා දේවාලයට පැමිණෙන කපු ගොල්ල මූලික තේවාකරුවන් මහ දෙවොල බලා කප වඩමවනු ලැබේ. එයටද දේවාල රාජකාරිකරුවන්ට හැර පිටස්තරයින්ට මේ කටයුතු සඳහා
නිරීක්ෂණ මට්ටමින් හෝ සහභාගි වීමට අවසර නොලැබේ. මේ පෙරහර චාරිත්‍රය කණු කපන මංගල්ලය ලෙස හඳුන්වන්නේ ඇයිදැයි කියා රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සෝමපාල රත්නායක මහතා කණු කැපුම් මංගල්ලයේ සැබෑ අරුත පැහැදිලි කර දුනි. කතරගම දේවාලයට පමණක් අනන්‍ය වූ මේ  කණු කැපීමේ මංගල්ලය අනෙකුත් දේවාලවල කපු සිටුවීමට වඩා වෙනස් වන්නේ කප කැබලි හයකට පළන බැවින් බව සෝමපාල රත්නායක මහතා පෙන්වා දුනි.


ඒ අනුව වල්ලි අම්මා දේවාලයේ සිට කතරගම මහ දෙවොලට රැගෙන එන කප පසුව කොටස් හයකට පළනු ලබයි. එයින් දෙකක් දිය කැපුම් තොටට, තවත් දෙකක් දහයියා තොටට හා තවත් කොටස් දෙකක් දිය මුදුන් තොටටද වශයෙන් වෙන් කරයි. මෙලෙස කප කැබලි හයකට බෙදීම රහසිගත ලෙස සිදු කරනු ලබන්නේ ගබඩා භාරකරු විසිනි. අනතුරුව මෙලෙස කපා වෙන් කළ කප කොටස් ඉතා රහසිගත ලෙස මැණික් ගඟේ ඉවුරේ වළ දැමීම හැංගීම හෙවත් මණ්ඩලයේ කණු කැපීමේ චාරිත්‍රයේ අවසන් පියවර නිමාවට පත් කරනු ලබයි.


කණු කැපීම හෙවත් කප සිටුවීමේ චාරිත්‍රයේදී මුල් තැනක් වල්ලි අම්මා දෙවොලට හිමි වේ. එහෙත් තේවානි දේවියගේ දෙවොල මේ සමග සම්බන්ධ නොවීම රසවත් මෙන්ම කුතුහලය දනවන දේව පුරාවෘත්තයකි. කතරගම දෙවිඳුන්ට බිරියන් දෙදෙනෙකි. ඒ ‘තේවානි’ හා ‘වල්ලි’ය. තේවානි ඉන්දීය  බිරිය වේ. ඇය නමින්ද කතරගම කෝවිල් තිබේ. එහෙත් ‘වල්ලි’ යනු ස්වදේශික කතකි. ඇය වැදි පවුලක රූමතියකි. එසේම ‘තේවානි’ පිළිබඳව වැඩිමනක් තොරතුරු හෙළි නොවේ.


නමුත් වල්ලි හා කතරගම දෙවිඳුන් සම්බන්ධ ජනප්‍රවාද රැසකි. කලක් කතරගම දෙවිඳුන් සෙල්ලකතරගම වාසය කළ බවද කියැවේ. එසේම වල්ලි සමග කතරගම දෙවිඳුන් පළමුවරට යහන්ගත කළේද සෙල්ලකතරගම දී බව කතාවන් හි කියැවෙන්නකි. මුල් කාලයේදී වැදි ජනයා විසූ ප්‍රදේශයක් ලෙස සෙල්ලකතරගම හඳුනාගෙන ඇත. එසේම බෞද්ධ පුරාවස්තු රැසක්ද සෙල්ල කතරගමින් හමුවී තිබේ. මේ සියල්ල කතරගම දේවාලයේ කප සිටුවීම මේ ආකාරයට සිදු වීමට යම් බලපෑමක් සිදුකර ඇතිවග හැඳිනගත හැකිය. දැනට තේවා භාර ප්‍රධාන කපු මහතා පෙන්වා දෙන්නේද කතරගම දෙවොල් පෙරහරේ කප හිටුවීම බෞද්ධාගමික උරුවකට සිදුවන්නක් බවය.


එයට බලපෑ මූලසාධකය ලෙස දුටුගැමුණු පිළිවෙත ඉදිරිපත් කෙරේ. එසේම ආර්ය ජනාවාසයක් ලෙස පැවැති අතීත කාචරගාම බෞද්ධයන්ගේ සොළොස්මස්ථානවලින් එකකි. තවද ක්‍රි.පූ. තුන්වැනි සියවසේදී අනුරාධපුර මහමෙව්නා උයනේදී ශ්‍රී මහා බෝධිය රෝපණය කරන විට එම උත්සවයට කාජරගාම ආර්යයන් සහභාගි වූ වග වංශකතා මගින් පෙන්වා දෙයි. එයට හේතුව නම් ඔවුන්ට බුදුන් වහන්සේගේ ඥාතිත්වයක් තිබූ නිසා බව වංශ කතා මූලාශ්‍ර මගින් හඳුනාගත හැකියි. ඒ අනුව කතරගම දේවාලයේ කප සිටුවීම බෞද්ධ සම්ප්‍රදායට සිදුවන්නක්ය යන්න පිළිගත් එක් විශ්වාසයකි.

ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළු‍පොත

No comments:

Post a Comment