Friday, March 28, 2014

අරුම පුදුම උණු දිය බුබුල

අද මගේ මාතෘකාව වෙන්නේ උණු වතුර ළිං . ඔය කගේ කාගේත් සිතට මනසට ටග් ගාල ඇදිල එන්නේ කින්නියා උණු වතුර ළිං හරි මදුනාගල (සූරියවැව) උණු දිය ළිං හරි කියල තමා මගේ නම් අනුමානය. ලංකාවේ ඔය කවුරු කවුරුත් නොසිතන විදියේ අරුම පුදුම උණු දිය බුබුළක් ගැන විස්තරයක් තමයි කියන්න යන්නේ. ඊට කලින් අපි බලල ඉමු ලංකාවේ උණු දිය උල්පත් ගැන පොඩි ටීකාවක්. මීට වඩා දෙයක් දන්නා කෙනෙක් ඉන්නවනම් මාවත් කරුණාකරලා දැනුවත් කළොත් හොඳයි.

ලංකාවේ මම දන්නා විදිහට නම් උණු වතුර ළිං 10ක් විතර තියෙනවා.
  1. ගෝමරන්කඩවල (රන්කිහිරිය) – 42'
  2. කින්නියා (ත්‍රිකුණාමලය) – 42'
  3. නෙළුම්වැව (මනම්පිටිය) – 62'
  4. මුතුගල්වෙල (ගුරුකුඹුර)
  5. කපුරැල්ල – 55'
  6. මහඔය – 56'
  7. මරන්ගල (පදියතලාව) – 44'
  8. වහාව (අම්පාර)
  9. කිවුලෙගම – 34'
  10. මදුනාගල (සූරියවැව) – 44'

විවිධ උෂ්ණත්වයන් පෙන්නුම් කරන මේ ස්ථාන අතරෙන් මම අද පෙන්නන්න යන්නේ නෙලුම්වැව උණුදිය උල්පත. උෂ්ණත්ව අගයන් අතරෙනුත් මුල් තැන හිමිවන්නේ මෙන්න මේ උණුදිය බුබුලටම තමයි.. තවත් විශේෂත්වයක් තමයි මෙහි පිහිටීම. මෙන්න මේ අරුම පුදුම උණු දිය බුබුල පිහිටලා තියෙන්නේ නෙළුම්වැව කියන වැව මැද. පුදුමයක් නේද? ඒත් ඇත්තයි සත්තයි.

ගමන් මාර්ගය : A11 මහාමාර්ගයේ මනම්පිටිය පාලම පහුකරගෙන මඩකලපුව දිහාට යනකොට මුණගැසෙන පලවෙනි නගරය තමයි සෙවනපිටිය කියන්නේ. ඊට කලින් දැනගමු මනම්පිටි පාලම් පුරණය. මෙන්න මේ පාලම හරියේදී තමයි අඹන් ගඟ මහවැලි ගඟ සමග සම්බන්ධ වෙන්නේ.දැන්නම් මෙතන අලුතින් හදාපු පාලමක් තියෙනවා. ඉස්සර තිබුනේ ඉතා පැරණි යකඩෙන්ම හදාපු පාලමක්. මේකේ විශේෂත්වය තමයි මහා මාර්ගය හා දුම්රිය මාර්ගය යන දෙකම එකම පාලමක් මතින් දිව යෑම. මේ වගේ තව එකම එක පාලමක් තිබුනා ඔඩ්ඩමාවඩි කියන නගරයේ. එකත් තියෙන්නේ මඩකලපුවට යන පාරෙ. එතනත් දැන් අලුතෙන් පාලමක් හදල තියෙනවා.
මනම්පිටිය පාලමෙන් දිව එන යකඩ යකා

මනම්පිටිය පාලමෙන් මෝටර් රියක් ගමන් කරද්දී
නම්පිටිය පැරණි පාලමේ දිග අඩි 1502යි. පළල අඩි 15.5යි. හදල තියෙන්නේ 1924දි සුදු ජාතිකයන් විසිනුයි. පොලොන්නරුව හා මඩකලපුව දිස්ත්‍රික්ක වෙන් කෙරෙන මේ පාලම P & S LONDON සහ චිපෙන්ග් හම් කොම්පැනියේ විශිෂ්ට නිර්මාණයක්. මෙන්න මේ අලුත් පාලම හා පරණ පාලම යන දෙකම ලංකාණ්ඩුවේ අලුත් රු 50.00 කොලේ දැකගන්න පුළුවන්.
ලංකාණ්ඩුවේ අලුත් රු 50.00 කොලේ
අලුත් පාලම සමග පැරණි පාලම
මෙන්න මේ පාලම පහුකරලා සෙවනපිටිය හන්දියෙන් දකුණට කිලෝමීටර 10ක් විතර ගියාම හමුදා කඳවුරක් සමගම නෙළුම්වැව හම්බ වෙනවා. ඒ හරියෙම තියෙනවා උණු දිය බුබුල ජනසතු කල බවට වූ පුවරුව. වැව ඉවුරට වෙන්න තියෙනවා තොටියාගේ දුරකථන අංකය සහිත බෝඩ් එකක්. තොටියා ළඟ පාතක නැත්තම් call එකක් දීල ගෙන්න ගන්න වෙනවා.
උණු දිය නෑමක් අවශ්‍යනම්.....
උණුවතුර ළිං සාදා ඇත්තේ මෙවැනි ස්ථානයන් තෝරාගෙන අඩි 100 ක් ගැඹුරට කොන්ක්‍රීට් නල දමා ලිඳක් ලෙස පරිහරණය කළ හැකි ලෙස සකස් කිරීමට මහවැලි අධිකාරිය විශාල මහන්සියක් දරා තිබුණා. මෙම උණු දිය කිලෝමීටර් 2 ක් පමණ ගැඹුරේ සිට පැමිණෙන බව විද්‍යාඥයන්ගේ මතයයි. එලෙසම මෙහි ජලය තත්පරයට ලීටරයක් ජනනය වෙනවා. මෙම උණුදිය උල්පත්වලින් මතුවන ජලයේ සල්ෆර් ලවණ ඉතා ගුණ බවත් එමගින් චර්ම හා වාත රෝග නිවාරණය කිරීමට අවශ්‍ය ස්වභාවික ද්‍රව්‍ය අඩංගු නිසා මෙම ළිං වලින් නෑමට බොහෝ දෙනා ප‍්‍රිය කරන බවත් දැනගන්නට ලැබුණා. ඔබ මෙහි යන්නේ නම් කුඩා දරුවන් ගැන මදක් සුපරික්ෂාවෙන් සිටින්න.
තොටුපොල වෙතට...
උණු දිය සොයා වැව මැදට....
තොටියා සහ පාරුව












නෙළුම්වැව එපිටින් පෙනෙන දිඹුලාගල පර්වතය

තොටියාගේ පිහිටෙන් උණු වතුර ළිං ගාවටම වගේ යන්න පුළුවන්, එතන තියෙනවා ලස්සනට හදාපු උණු දිය පිරි ළිං 5ක්. වම් පසින් පිහිටලා තියෙන්නේ දිඹුලාගල කඳු පන්තිය.. අනිත් පැත්තෙන් වැව් තාවුල්ල. පුදුම ලස්සන තැනක්. නාන්න එහෙම අදහසක් තියෙනවනම් බාල්දියක් ගෙනියන්න අමතක කරන්න එපා. .ඇදගෙනම නා ගන්න පුළුවන්නේ ඉතින් .
අති පිරිසිදු උණු වතුර
යුරේකා ...යුරේකා...

නෑමක් සිහිවී...
බෙහෙත් වතුර ස්නානය
හරිම සනීපයක් තමා දැනෙන්නේ....
තවත් එක ලිඳක්..
ඉපිලී නගින බුබුළු....
දැන් ඉතින් කට්ටියම කියවලා ඉවරනම් පින්තූර ටිකත් බලලම ඉන්නකෝ. තවත් වැදගත් දෙයක් තියෙනවා. ඔබත් මෙහි පැමිණෙන්නේ නම් සොඳුරු මතකයන් සිත තුල ධාරණය කරගෙන පින්තූරයක් දෙකක් විතරක් අරගෙන පරිසරය සුරකින ලෙස ආයාචනය කරනවා.

මෙපිටට පෙනෙන ළිං
නෙලුම් වැවේ ජීවය
තොටුපොල අයිනේ





1 comment: