Tuesday, January 31, 2017

දකුණු දළදා සමිඳු වැන්දෙමු - දෑත නළලේ තබා සාදූ........... බුදු රැස් විහිදෙන සෝමාවතිය....

   දිනය            : 25.01.2016 සහ 26.01.2016

   නිමිත්ත        : කිරි ආහාර පූජාව

   නවාතැන      : වික්‍රමරත්න විශ්‍රාම ශාලාව ( වායුසමීකරණ පහසුකම්ද ඇත)

සිරිලක එක්‌සේසත් කළ දුටුගැමුණු මහරජුන්ගේ පියාණන් වන කාවන්තිස්‌ස නිරිඳුන් විසින් අප සම්බුදුරජුන්ගේ ලලාටධාතුව නිධන් කොට සේරුවිල මංගල මහා සෑය කරවන ලද්දේය. එකල මහවැලි ගං මෝය අසබඩ වූ තැනිතලා ප්‍රදේශය සශ්‍රීක වූ ජනී ජනයාගෙන් පිරීගිය සමෘද්ධිමත් රාජධානියක්‌ විය. ඒ අවදියේ ම කැලණියේ සිව රජුගේ බෑණනුවන් වූ අභය කුමරු සමග කාවන්තිස්‌ස රජුගේ නැගණිය වන සෝමවතී දේවිය විවාහපත් වූවාය. දකුණේ ගැමුණු කුමරුගේ බලය වැඩෙමින් තිබීමත් සමගම ගිරි අබා කුමරු සෝමාවතී දේවිය එවකට සේරු නුවර රජකළ සිව රජු වෙත ගියහ. සිව රජුගෙන් මහවැලි නදිය අසබඩ ඉතා සශ්‍රීක වූ ප්‍රදේශයක්‌ ඔවුනට තෑගි වශයෙන් ලැබිණි. එම ප්‍රදේශය ලැබුණේ සෝමවතී දේවියට බැවින් ගිරිඅබා කුමරු විසින් අලුතින් ගොඩනැගූ නුවරට නම් තබන ලද්දේ සෝම නුවර වශයෙනි.

සෝමවතී දේවිය තෙරුවන් කෙරෙහි මහත් සැදැහැයෙන් යුතු බෞද්ධ මහෝපාසිකාවකි. ඕ තොමෝ සැමට යහපත පිණිස දාගැබක්‌ සහිත විහාරයක්‌ කිරීමට අදිටන් කරගත්තාය. තම ස්‌වාමියා වන ගිරිඅබා කුමරුට ද එය යෝජනා කළාය. මහත් සේ සතුටට පත් වූ කුමරුන් රහතන් වහන්සේලා හැට නමක්‌ වැඩම කොට දන් පැන් පිළිගන්වා දාගැබක්‌ සහිත වූ විහාරය සෑදීමේ අදහස ඉදිරිපත් කළේය. රහතන් වහන්සේලාගේ සම්පූර්ණ ආශිර්වාදය ලැබුqණි
 
එකල ලක්‌දිව සඟ පරපුර නිර්මලව පැවති අවදියකි. අරිට්‌ඨ මහරහතන් වහන්සේගේ සිසු පරපුරෙන් පැමිණි මහාදේව මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වූ මහින්ද නම් එක්‌තරා රහත් තෙරුන් වහන්සේ නමක්‌ ළඟ සර්වඥයන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ සුරැකිව තිබිණි. මෙය දැනගත් ගිරිඅබා රජු සහ සෝමවතී බිසව අලුත් දාගැබෙහි තැන්පත් කිරීම පිණිස ධාතුන් වහන්සේ නමක්‌ ලබාදෙන මෙන් මිහිඳු තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ. මහත් සතුටට පත් මිහිඳු රහතන් ප්‍රධාන ඒ උතුම් සඟරුවන තමන් මෙතෙක්‌ කලක්‌ භක්‌ත්‍යාදරයෙන් සුරැකි ඒ දකුණු දළදා වහන්සේ ගිරිඅබා රජුට දුන්සේක. මහත් ප්‍රීතියට පත් රජතුමාත්, සෝමවතී බිසවත් රහතුන්ට වැඳ නමස්‌කාර කරමින් චෛත්‍ය කර්මාන්තය පටන් ගත්හ. දකුණු දළදා වහන්සේ නිදන් කොට තැන වූ එම චෛත්‍යරාජයාගේ සියලු කටයුතු සෝමවතී දේවියගේ මූලිකත්වයෙන් කළ හෙයින් සෝමවතී චෛත්‍ය යන නාමය ලැබිණි.
 
තත්කාලීන සෙල්ලිපිවලින් මෙම විහාරය හඳුන්වනු ලබා ඇත්තේ "මණිඅගිය" නමිනි. එහි තේරුම අනඟි මැණික යනුයි. මෙය එකල සකල විහාරාංගයන්ගෙන් පරිපූර්ණ වූ සිද්ධස්‌ථානයකි. පොහොය ගෙවල්, විහාර, සක්‌මන් මළු, භාවනා කුටි, පැන් පොකුණු, පුෂ්පාරාම, ඵලාරාමයන්ගෙන් සමලංකෘතව තිබුණි.

ක්‍රි.ව. 10 වන සියවසේ දකුණු දඹදිව උමතු සිව බැතිමත් රජවරුන්ගෙන් එල්ල වූ ආක්‍රමණයෙන් හටගත් බෞද්ධ සිද්ධස්‌ථාන සංහාරය නිසා ක්‍රමක්‍රමයෙන් මෙම ප්‍රදේශ වල් බිහිවී වනාන්තර ගත වෙන්නට විය. කාලයාගේ ඇවෑමෙන් මහවැලි නදියේ ගලාබස්‌නා රටාව ද වෙනස්‌ව ගියේය. එකල මහවැලි නදියට නැගෙනහිරින් වූ සෝමවතිය දැන් පවතින්නේ මහවැලි නදියට මෙපිටිනි. එයට හේතුව නම් නදියෙහි ගලා බස්‌නා ආකාරය වෙනස්‌ වීමයි. අද චෛත්‍ය රාජයා වෙත යන මාර්ගය පවා වැටී ඇත්තේ පැරණි මහවැලි ගඟ ගැලූ ප්‍රදේශ ඔස්‌සේය.
 
කලක්‌ තිස්‌සේ වල්බිහිවී වනාන්තර ගත වී තිබුණු මෙම ප්‍රදේශයෙහි පිහිටි සෝමවතී දාගැබ පිළිබඳව තොරතුරු පැතිර ගියේ මෙහි ඇති හාස්‌කම් නිසාවෙනි. මෙම දාගැබෙන් බුදුරැස්‌ විහිදීමත්, අනේක වූ දිව්‍යභේරි නාදයන්ගේ රාවයන් නිකුත් වීමත් ආදී ප්‍රාතිහාර්යයන් ගැන අසන්නට ලැබී මෙම දාගැබ සොයා පළමුවෙන්ම පියවර තබන ලද්දේ සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමියන් ඇතුළු පිරිස විසින් 1947 දීය. උන්වහන්සේලා අලි, කොටි, වග වලසුන්ගෙන් ගහණ මහ වනයට පිවිස කෙමෙන් කෙමෙන් වන ගැබ තුළට පිවිසෙද්දී වනයේ අතරමං වූහ. කිසිවක්‌ කරගත නොහැකිව ත්‍රාසයට පත්ව සිටි ඒ අවස්‌ථාවෙහි ඈතින් අහසට ආලෝක ධාරාවක්‌ විහිදෙනු දැක එය ඔස්‌සේ මහාසෑය තිබුණු ප්‍රදේශය සොයාගන්නා විට රාත්‍රි 11 පමණ වී තිබිණි. ඔවුහු අපමණ බුද්ධාලම්භන ප්‍රීතියට පත්වූහ. තමන්ගේ නෙත් ඉදිරියේ දිස්‌වන්නේ හුදෙකලා ඝෝර වනයක කුඩා කඳුගැටයක්‌ මෙන් දිස්‌වෙන ගරා වැටුණු සෑයෙන් අහසට විහිදෙන බුදුරැස්‌ මාලාවන්ය. තුනුරුවන් වැඳ, පිරිත් කියා මහා සෑය ප්‍රතිංස්‌කරණයට අදිටන් කරගත් උන්වහන්සේලාට ඒ මහාසෑය ඇතුළින් හේවිසි හඬ ද ශ්‍රවණය කරන්නට ලැබුණි.
 
සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සෝමාවතියේ චෛත්‍ය ප්‍රතිසංස්‌කරණය ආරම්භ විය. ක්‍රම ක්‍රමයෙන් මහාසෑයේ පිළිසකර කටයුතු අවසන් වෙමින් තිබිණි. 1991 ජූලි මස 4 වැනි දින මහාසෑයේ කේතුපළන්දන මහෝත්සවය කළ වේලෙහි එහි පැමිණ සිටි ලක්‍ෂ සංඛ්‍යාත පිරිස මවිතයට පත්කරමින් දුටුදුටුවන්ගේ සිත් සතන් බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳ කරවමින් සෝමවතී මහාසෑයෙන් බුදුරැස්‌ විහිදෙන්නට පටන් ගත්තේය. මෙම දර්ශනය මිනිත්තු 45 ක්‌ පමණ තිබුණි.
 
1983 හටගත් ජූලි කලබල වලින් පසු යළිත් සෝමවතිය හුදෙකලා වන්නට විය. බෞද්ධ ජනතාවගෙන් තොරවූ මෙම ප්‍රදේශයෙහි චෛත්‍ය රාජයාට වන්දනාමාන වතාවත් කිරීම එහි වැඩසිටින භික්‍ෂූන් වහන්සේලා විසින් කරන ලද්දේ ඉතා දුෂ්කරතා මධ්‍යයේය. කොටින්ම යන්නට පාරක්‌ තොටක්‌ නොමැති, අලි, කොටි, වලසුන්ගෙන් ගහණ සෝමාවතිය වෙත ළඟාවීමට බොහෝ දුක්‌ වින්ද යුතු විය. සෝමාවතී මහා සෑය වෙනුවෙන්ම තම ජීවිතයම පූජා කළ සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වීමෙන් පසු එහි භාරකාරත්වයට පත් පහමුණේ ශ්‍රී ගුණානන්ද අනුනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ අප්‍රමාණ ශ්‍රද්ධා භක්‌තියකින් යුක්‌තව මෙම චෛත්‍යරාජයාණන් වහන්සේගේ ආරක්‍ෂාවත් අභිවෘද්ධියත් උදෙසා මුළු ජීවිතයම කැපකළ සේක. උන්වහන්සේ අපවත්වීමෙන් පසු උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වූ පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සෝමාවතී චෛත්‍යරාජයාණන් වහන්සේගේ අභිවෘද්ධියත්, ආරක්‍ෂාවත් උදෙසා මහත් ශ්‍රද්ධාවකින් කැප වී සිටින අයුරු ලක්‌වැසි සියලු භික්‍ෂූන් හට උදාර ආදර්ශයක්‌ සපයයි.
 
වරින් වර කොටි ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රහාරයන්ට මහාසෑය ලක්‌විය. එක්‌වතාවක්‌ මහාසෑය සාරා තිබුණි. තව වතාවක්‌ කොත ගලවා තිබිණි. සිංහල බෞදAධයන්ව ද ඝාතනය කර තිබිණි. මහාසෑය පිහිටි ප්‍රදේශයට යැම භීතියෙන් සිත් කළඹවන තරම් දරුණු දෙයක්‌ බවට ත්‍රස්‌තවාදීන් විසින් පත්කොට තිබුණි. නමුත් ඒ කිසිවකින් බුදුරැස්‌ විහිදෙන මහාසෑයට හානි කළ නොහැකි විය.
 
මුනිඳු ගෞතම අප තිලෝගුරු - බුදුරැසින් ලොව දසත     විහිදූ
සුමුදු බුදුවදනින් සදා සෙත - ලොවට සිරි සැප සතුට       සෑදූ
පුබුදුවන මුනි ගුණය කැටිකොට - උතුම් සෝමාවතිය      සෑදූ
දකුණු දළදා සමිඳු වඳිනෙමු - දෑත නළලේ තබා             සාදූ  
(කිරිබත්ගොඩ ඤාණානන්ද ස්‌වාමීන් වහන්සේ )

No comments:

Post a Comment